කොවිඩ් හමුවේත් වැඩ කරන ජනතාවගේ රැකියා සුරක්ෂිතයි...

srilanka mayday dinesgunawardana
By Nimal May 01, 2021 07:41 AM GMT
Nimal

Nimal

Report

 කොවිඩ් වසංගතය නිසා ලොව පුරා දහස් සංඛ්‍යාත ජනතාව ගේ රැකියා අහිමි වෙද්දී ශ්‍රි ලංකාවේ වැඩ කරන ජනතාවගේ රැකියා සුරක්ෂිත කරන්නට හැකි වීම මෙරට වැඩ කරන ජනතාව ලැබු ජයග්‍රහණයක් බව මහජන එක්සත් ‍පෙරමුණේ නායක විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කෙළේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කෙළේ135 වන මැයි දිනය සැමරීම සදහා කොළඹ පදනම් ආයතනයේ අද (1) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වු අවස්ථාවේදීය. මෙවර මැයි දිනය සමරන්න අපිට අවස්ථාව අහිමි වී තිබෙන්නේ ලොව පුරා ඉතා දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති කොවිඩ් වසංගතය නිසයි.

අපි මෙවර මැයි දිනය සමරමින් ලොව පුරා කම්කරු ජනතාවට දැක්විය යුතු ඒ ගෞරවය දක්වන්න සුදානමින් සිටියා.නමුත් කොවිඩ් වසංගතය දරුණු ලෙස පැතිර යාම නිසා අපේ වැඩ කරන හා මුළු මහත් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මැයි දින රැලි,රැස්වීම් හෝ පෙළපාලි නොපවත්වා ඉන්න සියලු දේශපාලන පක්ෂ ඒකමතිකව තීරණයක් ගත්තා.

ඒ අනුව තමයි අද අපි මේ ශේෂ්ඨ දිනයේ දී වැඩ කරන ජනතාව වෙනුවෙන් වමේ දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති බල මණ්ඩලය විදියට රජයට ඉදිරි පත් කරන්න සුදානම් කර ගෙන තිබූ යෝජනා සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ජනතාව දැනුවත් කර රජයට බාර දෙන්න සුදානම් වන්නේ.’’ ලෝකය පුරා කොවිඩ් වසංගතය හේතුවෙන් වැඩ කරන ජනතාවගේ විශාල රැකියා ප්‍රමාණයක් අහිමිව තිබෙනවා.අපේ රටෙත් එය සිදුවන්නට ඉඩ තිබුණා.

නමුත් එවක කම්කරු අමාත්‍යවරයා ලෙස මට පුළුවන් කම ලැබුණා සේවකයින් , හාම්පුතුන් හා කම්කරු අමාත්‍යංශය කියන ත්‍රෛයිපාර්ශවික එකමුතුව ඇති කර ගෙන ඒ හරහා ගිවිසුමක් සකස් කර වැඩ කරන ජනතාවගේ රැකියා සුරක්ෂිත කර දෙන්න. කොවිඩ් නිසා ආයතනවල වැඩ අඩාල වුවත් මෙම ගිවිසුම නිසා සේවකයන්ගේ රැකියා අහිමිනොකර සුරක්ෂිත කර ගන්න පුළුවන් වුනා යැයි ද අමාත්‍යවරයා සදහන් කළේය.

තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ කොවිඩ් වසංගතය තුළ කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ නැගිමට වැඩ කරන ජනතාව මහත් කැපවීමෙන් ලබා දෙන දායකත්වය නිසි ඇගැයීමට ලක් විය යුතු බවය.විශේෂයෙන් වතු කරයේ ජනතාව අපනයනය දිරි ගන්වමින් සිදු කරන කැපවීම සිහිපත් කල අමාත්‍යවරයා වතු කම්කරුවෙකුට දිනක වැටුප ලෙස රුපියල් දහසක් ගෙවීමට රජය ගත් තීරණය සෑමවත්තකම ක්‍රියාත්මක කරවීමට රජය මැදිහත් විය යුතු බවද අවධාරණය කෙළේය.

ඉකුත් යහපාලන රජයේ සිදුව ඇති දේශපාලන පලි ගැනිම්වලට ලක්ව ඇති සියලු දෙනාට සාධාරණය ඉටු කල යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රි ලංකාව ස්වයංපෝෂිත රටක් ලෙස ඉදිරියට ගෙන යෑමට රජය වැඩ කරන ජනතාවට ශක්තිය ලබා දිය යුතු බවද ඉල්ලා සිටියේය.  මෙම මාධ්‍ය හමුවට මෙරට වෘත්තීය සමිති විස්සක් පමණ නියෝජනය කරමින් වෘත්තීය සමිති නායකයන්ද සහභාගි වී සිටියහ. එහිදී රජයට ඉදිරිපත් කීරිම සදහා ඒකාබද්ධ වෘත්තීය සමිතිබල මණ්ඩලය සකස් කර තිබු වැඩ කරන ජනතාව ගේ අයිතීන් සුරක්ෂිත කිරිම සදහා වු යෝජනා 14 ක් ඇතුලත් යෝජනා පත්‍රයක් ද වෘත්තීය සමිති නායකයන් විසින් අමාත්‍යවරයාට බාර දෙනු ලැබීය.