පොලිතීන් වලින් ලන්ච්ෂීට් නිපදවුවහොත් නීතිය තදින් ..

srilanka nature mahinda amarewera
By Nimal Jul 30, 2021 03:24 AM GMT
Nimal

Nimal

Report

පොලිතීන්වලින් නිෂ්පාදිත නොදිරන ලන්ච්ෂීට් භාවිතය තහනම් කිරීමේ ගැසට් පත්‍රය 2017 නිකුත් කර තිබුනත් එම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා වගකිවයුතු අංශවලින් නිසි සහයෝගයක් ලබා දී නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.පොලිතීන් වලින් ලන්ච්ෂීට් නිපදවුවහොත් නීතිය තදින් .. | Srilanka Nature

දිරාපත් නොවන පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් තහනම් කිරීම අනිද්දා සිට එනම් අගෝස්තු 01 දින සිට ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ. එයට හේතුව වර්ෂයකට ලන්ච්ෂීට් මිලියන 5475ක් පමණ ප්‍රතිචක්‍රියකරණ ක්‍රියාවලියකින් තොරව අපේ පරිසරයට විවිධ පුද්ගලයින් හා ආයතන විසින් මුදාහැරීමයි.

දිනකට පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 15ක් පමණ වෙතැයි මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෙළිදරව් කර ගෙන ඇත. මේ නිසා 2017 දී එවකට ජනාධිපති හා පරිසර අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ලන්ච්ෂීට් තහනම් කිරීමේ ගැසට් පත්‍රය නිකුත්කර තිබුනි. නමුත් එම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා නිෂ්පාදන ආයතන, අලෙවි ආයතන මෙන්ම මහජනතාවද උනන්දු නොවීය. මෙම වසරේ ගත වූ කාලය තුළ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ සම්බන්ධව අදාල වගකිව යුතු අංශ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ගැසට් පත්‍රය පරිදි නොදිරණ පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් අපේ රටේ නිෂ්පාදනය, බෙදාහැරීම මෙන්ම අලෙවි කිරීම තහනම් කිරීමට තීරණය කරනු ලැබීය.

ඒ අනුව අනිද්දා සිට එනම් 2021.08.01 දින සිට මෙම නොදිරණ ලන්ච්ෂීට් තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලද බව පරිසර අමාත්‍යවරයා පැවසීය.පොලිතීන්වලින් නිෂ්පාදිත මෙම නොදිරණ ලන්ච්ෂීට් භාවිතය නිසා අපේ රටේ විශාල පාරිසරික හානියක් මෙන්ම සෞඛ්‍යමය බලපෑමක්ද එල්ල වී තිබේ. වසරක් පාසා කෝටි ගණනින් ඉවක් බවක් නැතුව පරිසරයට මුදා හරින ලන්ච්ෂීට් දිරාපත්වීම සඳහා වසර 100-200ක් පමණ කාලයක් ගත වේ. දිරාපත් වුවද ඒවා ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු වශයෙන් පසට එක් වී අවසානයේ ආහාර මගින් මිනිස් සිරුරට ඇතුල්වේ. පස නිසරුවීම, මෙම ලන්ච්ෂීට් ආහාරයට ගැනීම නිසා වන අලි, මුවන්, පක්ෂීන් වැනි වනජීවින් රැසකගේ ජීවිත තර්ජනයට ලක් ව ඇත.

එමෙන්ම මෙම සියලුම පොලිතීන් හා ප්ලාස්ටික් අවසානයේ එකතුවන්නේ පානීය ජල මූලාශ්‍රවලට හා සාගරයටය. 2020 පාරිසරික විගණන වාර්තාව පෙන්වා දෙන අන්දමට බෙංගාල බොක්ක ආශ්‍රිත ශ්‍රී ලංකාවට අයත් මුහුදු කළාපය තුළ කිලෝමීටර් 65000ක මළ මුහුදක් මෙම ප්ලාස්ටික් හා පොලිතීන් සාගරයට එක්වීම නිසා නිර්මාණය වෙමින් තිබෙන බව පෙන්වා දෙයි. 2050 වන විට සාගරයේ මාළුන්ට වඩා ප්ලාස්ටික් හා පොලිතීන් ඉහළ යනු ඇතැයි අන්තර්ජාතික සංවිධාන විසින් පුරෝකථනය කර ඇත.එමනිසා අපේ රටේ පාරිසරික සංරක්ෂණය මෙන්ම මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාවය උදෙසා ලන්ච්ෂීට් තහනම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙම තීරණය කිසිසේත්ම රජයට පමණක් තනිව ක්‍රියාත්මක කළ හැක්කක් නොවේ. මහජනතාව ඇතුලු රටේ සියලු අංශවල සහයෝගය ඊට ලැබිය යුතුය. කිසියම් අයෙක් ව්‍යාජ ලෙස පොලිතීන්වලින් නැවතත් ලන්ච්ෂීට් නිෂ්පාදනය කිරීම, බෙදා හැරීම හෝ අලෙවි කිරීම සිදු කළහොත් දැනට ඇති දඩමුදල මෙන් දහගුණයකින් ඉහළ දැමීමටත්, එමෙන්ම ඒ සඳහා යොදා ගන්නා සියලු උපකරණ රාජසන්තක කිරීමටත් පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. අපේ රටේ මතු පරපුර ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා ලද මෙම තීරණයට සියලු අංශ විසින් සහයෝගය ලබා දෙන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය