පොලිතින් ලන්ච්ෂීට් වලට තිත- ජෛවහායනික ලන්ච්ෂීට් අලෙවිය අනිවාර්යයි..
අගෝස්තු මස පළමුවන දා සිට අප රටේ සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ Biodegradable නැතහොත් ජෛව හායනික ලන්ච්ෂීට් පමණක් බවත්, එම ලන්ච්ෂීට් භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
අද දින (14) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරණ ලන්ච්ෂීට් ලබන මස පළමුවන දින සිට තහනම් කරන අතර ඒවා නිෂ්පාදනය හා බෙදා හැරීම ද තහනම් කෙරේ.
එමෙන්ම දැනට නිෂ්පාදනය කර ඇති ලන්ච්ෂීට් පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා අතර එම කාලය තුළ පොලිතීන්වලින් නිෂ්පාදිත ලන්ච්ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම තහනම් වේ. එමෙන්ම ඒවා තවදුරටත් නිපදවන්නේ ද යන්න සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් සිදු කෙරේ. නියෝග නොතකා කිසියම් අයෙක් ඒවා නිපදවීම හා බෙදා හැරීම සිදු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රිායත්මක කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම වහාම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතීන් හා ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වර්ග 08ක් තහනම් කිරිමේ ලැයිස්තුවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අදාල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අද දින (14) අත්සන් තබන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව තහනම් කෙරෙන නිෂ්පාදන ලැයිස්තුව පහත පරිදි වේ. 1 වරක් භාවිතා කරන ලද බීම බට හා කළතන. 2 තනිභාවිත ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත හැදි, ගෑරුප්පු, යෝගට් හැඳි හා පිහි. 3 පරිමාව 400X 500 වලට වඩා අඩු සිලි සිලි බෑග් (සාප්පු බෑග්) 4 ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි 5 පොලිතින් යොදා ඇසුරුම් කරන සුවඳකූරු හා පහන්තිර ඇසුරුම්. 6 ප්ලාස්ටික් මල්මාලා 7 ප්ලාස්ටික් කෝප්ප 8 ලන්ච්ෂීට් මධ්‍යම පරිසර අධිකාරිය විසින් හෙළිකරගන්නා ලද නවතම තොරතුරු අනුව මේ රටේ දෛනික ලන්ච්ෂීට් භාවිතය ඉහළ ගොස් ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව දිනකට අපේ රටේ භාවිතා කරන ලන්ච්ෂීට් ප්‍රමාණය මිලියන 12-15 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම මින් සියයට 01ක්වත් ප්‍රතිචක්‍රියකරණය නොකරන අතර මහජනතාව විසින් මිල දී ගන්නා ලන්ච්ෂීට් සියල්ල පරිසරයට මුදා හැරීම සිදු කරයි.
මේ සඳහා මේ වනවිට විකල්ප ද ඉදිරිපත් ව තිබේ.කෙසේවුවද ජෛවහායනික ලන්ච්ෂීට් දැනට නිෂ්පාදනය කිරීම කර්මාන්තශාලා 10ක් මගින් සිදු කරයි. එහෙත් එම කර්මාන්ත ශාලා මහජනතාව නොමග යවමින් නොදිරණ ලන්ච්ෂීට් නිෂ්පාදනය කිරීමට උත්සාහ කළහොත් ඔවුන්ගේ නිස්පාදන බලපත්‍ර තහනම් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා කීය.
එමෙන්ම ජෛවහායනික ලන්ච්ෂීට් නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබා දෙන්නේ ද මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ලියාපදිංචි ආයතන සඳහා පමණක් බව ද අමාත්‍යවරයා පැවසීය.