මවගේ දානයට යද්දී මාඔය අසලදි පුද්ගලයාට සිදු වුණු දේ - බිහිසුණු සිදුවීම
සිය මවගේ හත්දින දාන පින්කමට සහභාගිවීමට යමින් සිටියදී පසුගිය (16) වැනිදා දහවල් මදුරුපිටිය මාඔයේ සපත්තු පාලමේදී සැඩ පහරට අසුව ගසාගෙන ගිය රියැදුරු උපදේශකවරයාගේ දේහය පෙරේදා (20) පස්වරුවේ ගිරිඋල්ල පාලම ආසන්නයේ උණපඳුරක රැදී තිබියදී හමුවූ බව මීරිගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ ප්රදේශයේ රියැදුරු පාසලක අධිපතිවරයා වූ අඹේපුස්ස, මොට්ටෑවවත්තේ විසූ ඒ. අමරසිංහ 60 නමැති තිදරු පියෙකි. සොයා ගැනුණු මලසිරුර බෙහෙවින් නරක් වී ඇති බවද එහි කොටස් සතුන් විසින් කා දමා ඇති බවද පොලිසිය කියයි
ඔහු පසුගිය 16 වැනිදා දහවල් මීරිගම ප්රදේශයේ සිට අලව්ව තල්වත්ත ප්රදේශයට යමින් සිටියදී මෙසේ සැඩ පහරට අසුව ගසාගෙන යාමෙන් අතුරුදන්ව සිටියේය.
රියැදුරු උපදේශකවරයා මෙම අනතුරට පත්ව ඇත්තේ සපත්තු පාලමේ අඩියක් පමණ ඉහළින් ජලකඳ වසා තිබෙන අවස්ථාවේ පාලමෙන් එගොඩ වීමට උත්සාහ ගත් අවස්ථාවේදී බව පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබිණි.
ජලයේ ගසාගෙන ගිය පුද්ගලයා හා යතුරුපැදිය සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් යොදවා පරික්ෂණ පැවැත් වූ අතර අනතුර සිදුවූ ස්ථානයට ආසන්නයේ තිබී යතුරුපැදි දෙකක් පසුගිය 18 සවස සොයා ගනු ලැබීය.
ඉන් එක් පැදියක් අතුරුදන් අය ගමන් කළ බව හෙළිවී ඇත. අනෙක් යතුරුපැදිය පෙර අවස්ථාවකදී අනතුරට පත්වූ අයෙකුගේ එකක් බවට පොලිසිය සැක කරයි. ගොඩ ගැනුණු දේහය වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මරණ පරීක්ෂණය එහිදී පැවැත්වීමට නියමිතය.
-පුෂ්පකුමාර මල්ලවආරච්චි-
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |