මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය...

srilanka health mahinda amarawera
By Nimal May 14, 2021 06:18 AM GMT
Nimal

Nimal

Report

  කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය සඳහා රජය මෙම අවස්ථාවේ දී ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන අතර සෞඛ්‍ය අංශවලට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන, රෝග මර්දනයට මෙන්ම රෝගී සත්කාරක සේවා පවත්වා ගැනීමට අවශ්‍ය ඖෂධ, එන්නත්, වෛද්‍ය උපකරණ, ඔක්සිජන් වැනි දේවල් මිල දී ගැනීමේ දී මාස ගණන් ප්‍රමාද කරන්නට බැරි නිසා ටෙන්ඩර් ක්‍රියාවලිය පවා ලිහිල් කිරීමටත්, හදිසි මිල දී ගැනීම් යටතේ අවශ්‍ය සියලු දේවල් මිල දී ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (13) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.අපේ රජය කොවිඩ් 19 වසංගත තත්ත්වය පාලනය සඳහා ගෙන යන වැඩ පිළිවෙළ සමහරු විවේචනය කරනවා. මේක ගෝලීය වසංගත තත්ත්වයක්. එමනිසා මේ අවස්ථාවේ රජය විවේචනය කර කරමින් සිටිනවාට වඩා හැම දෙනෙක්ම කළ යුත්තේ මෙම වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා තමන්ට කළ හැකි උපරිම දේ සිදු කිරීමයි. රජය කොවිඩ් 19 පාලනයට ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරනවා.

විශේෂයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී මෙන්ම අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක සාකච්ඡාවේදීත් සාකච්ඡා කළේ කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැනයි. ඒ හැම අවස්ථාවකම සෞඛ්‍ය අංශවලට අවශ්‍ය උපකරණ, ඖෂධ මෙන්ම අවශ්‍ය සියලු ද්‍රව්‍ය ලබා දීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දීමට තීරණය කළා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ප්‍රවාහණ පහසුකම් ලබා දීම සම්බන්ධවත් සාකච්ඡා කළා. එහිදී තීරණය කළේ කුලී පදනම මත හෝ ඔවුන්ට අවශ්‍ය වාහන පහසුකම් සැලසීමට පියවර ගැනීමටයි.

එමෙන්ම ඉදිරියේ දී ජනාධිපතිතුමා හා අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සර්වපාක්ෂික සාකච්ඡාවක් පවත්වන්නටත් රජය තීරණය කර තිබෙනවා. මම දැක්කා විපක්ෂයත් ඒ සම්බන්ධව ඉල්ලීමක් කර තිබෙනවා. ඒ නිසා අපි තීරණය කර තිබෙනවා මෙම වසංගත තත්ත්වය ජයගැනීම සඳහා හැකි ඉක්මනින් සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වීමට. එමෙන්ම එහිදී විපක්ෂය සාධනීය අදහස් හා යෝජනා ඉදිරිපත් කරයි කියා අපි විශ්වාස කරනවා.

අපි විපක්ෂයෙනුත් ඉල්ලා සිටින්නේ මේ අවස්ථාවේ කළ යුත්තේ දේශපාලන වාසි ගැනීම සඳහා කටයුතු කිරිම නොවෙයි. ඔවුන්ගේ වගකීම විය යුත්තේ රජයේ වැඩ පිළිවෙළට සහයෝගය ලබා දීමයි. ඔවුන් එවැනි අවස්ථා ගණනාවක් අහිමි කර ගත්තා. වරක් යුද්ධය පැවැති අවස්ථාවේ යුද ක්‍රියාදාමය විවේචනය කළා.

එම පියවර අකර්මණ්‍ය කිරීමට උත්සාහ කළා. රණවිරුවෝ හෑල්ලුවට ලක් කළා. මට මතකයි සමහරු කිව්වා “ඕනැ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” කියළා. තවත් කෙනෙක් කිව්වා “ආණ්ඩුව අලිමංකඩ යනවා කියළා යන්නේ පාමංකඩ” කියළා. ඒ වගේම “කිළිනොච්චි කියළා යන්නේ මැදවච්චියට” කියළා කිව්වා.

එවැනි ප්‍රකාශ නිසා ඔවුන්ට සිදුකරගත්තේ විශාල හානියක්. මෙම අවස්ථාවේ ඔවුන් එසේ නොකරාවි කියා අපි විශ්වාස කරනවා. . ඒ නිසා අපි විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ දැන් වත් ජාතික ආපදා අවස්ථාවක දී දේශපාලන වාසි ගැනීමට කටයුතු නොකර මහජනතාවගෙන් ප්‍රතික්ෂේප නොවී සිටීම සඳහා රජයේ වැඩ පිළිවෙළට සහයෝගය ලබා දෙන ලෙස යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.