ප්ලාස්ටික් හා පොලිතීන් පරිසරයට විශාල බලපෑමක්.....

srilanka health anil jasinha
By Nimal May 14, 2021 05:53 AM GMT
Nimal

Nimal

Report

 පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන තහනම ක්‍රියාත්මක කිරීමේදී පරිසරයට මෙන්ම මානව සෞඛ්‍යයට ඉන් සිදුවන බලපෑමත් අපි සැළකිල්ලට ගෙන තිබෙනවා යැයි පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ ( 13) පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී ලේකම්වරයා වැඩිදුරටත් මෙම අදහස් දක්වමින්,පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් පසුගිය මාර්තු 31 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිතීන් හා ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් තහනම් කළා. අපි ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන තහනම් කරන්නේ ඒවා භාවිතයෙන් මුළුමනින්ම ඉවත් කිරීම සඳහා නොවෙයි. අපේ අරමුණ හැකි තරම් ඒවා භාවිතය අවම කිරීමයි.

අද අපේ රටේ පරිසරයට පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය නිසා විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. මේවා බැහැර කිරීමේ දි විදිමත් ක්‍රියාපටිපාටියක් ජනතාව විසින් අනුගමනය කරන්නේ නැහැ. ඒවා තැනින් තැන බැහැර කිරීම නිසා තමයි පරිසරයට හා මානව සෞඛ්‍යයට බලපෑමක් එල්ල කර තිබෙන්නේ.

නමුත් අපි පරිසර අමාත්‍යාංශය වශයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීමත්, හැකිතරම් එවැනි නිෂ්පාදන වැඩිපුර ප්‍රතිචක්‍රියකරණයට ලක් කිරීමත් සිදු කිරීමයි අරමුණ. එමෙන්ම භාවිතයෙන් යම් නිෂ්පාදන ප්‍රමාණයක් ඉවත් කරන්නේ නම් ඒ සඳහා යම් නිර්ණායක ප්‍රමාණයක් සළකා බලනවා. විශේෂයෙන් ප්ලාස්ටික් හා පොලිතීන් වලින් නිෂ්පාදිත භාණ්ඩයක් තබා ගන්නා කාලය, ඒ සඳහා විකල්ප භාවිතා කළ හැකිද? එම භාණ්ඩ නිසා සිදුවි හැකි පාරිසරික හා සෞඛ්‍යමය බලපෑම කුමක්ද? වැනි කරුණු අපි සැළකිල්ලට ගන්නවා.

එමෙන්ම ඉදිරියේ දී ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම මත නිෂ්පාදකයින් හා පාර්ශ්වකරුවන්ගේ විස්තීර්ණ වගකීම හා වගවීම (EPR- Extended Producers Responsibility) යන්න අපි ඇතුළත් කරනවා.එවිට ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනකරුවන්ට තම නිෂ්පාදනවලින් පරිසරයට මෙන්ම මානව සෞඛ්‍යයට යම් හානියක් හෝ බලපෑමක් සිදුවන්නේ නම් ඔවුන්ට සිදුවෙනවා ඒ සම්බන්ධව පූර්ණ වගවීමක් යටතේ තම වගකීම ඉටු කිරීමට. මෙම කරුණු අපි නව ජාතික පාරිසරික පනත් සංශෝධනයට එක් කරනවා.

අපේ ගංගාවල ගලායන ජලය මගින් ප්ලාස්ටික් හා පොලිතීන් විශාල ප්‍රමාණයක් සාගරයට ඇදී යනවා. මේ නිසා සාගරයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු ප්‍රමාණය ඉහළ යාම මගින් ඒවා මත්ස්‍යයින් ඇතුළු ජලජ ජීවින්ගේ සිරුරට ඇතුල් වෙනවා. එම මසුන් හා ජලජ ජීවින් අපේ ආහාර දාමයට ඇතුළත් වීම මත එම ක්ෂුද්‍ර ප්ලාස්ටික් අණු නැවතත් අපේ සිරුරට ඇතුල්වීම මගින් මහජනතාව විවිධ රෝගාබාධවලට ගොදුරුවිය හැකියි. මේ සඳහා වන වැඩපිළිවෙළ සකස් කිරීමට ලෝක බැංකුව, USAID ආයතනය හා බ්‍රිතාන්‍ය රජය හා මෙරට මහකොමසාරිස් කාර්යාලය ද සහයෝගය ලබා දීමට තීරණය කර තිබෙනවා.එමෙන්ම පරිසරයට බැහැර කරන වීදුරු හා ප්ලාස්ටික් බෝතල් සඳහා ඒවා මිල දී ගැනීමේ දී යම් තැම්පතුවක් නියම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

එවිට පාරිභෝගිකයින්ට එම බෝතල්වල අඩංගු පානයන් මිල දී ගැනීමේ දී තමන්ගෙන් යම් මුදලක් තැම්පතුවක් වශයෙන් තබා ගන්නා නිසා බෝතලය නැවතත් අදාල වෙළෙඳසැලට ලබා දීමට සිදුවෙනවා. එසේ නොකළත් පරිසරයට බැහැර කළත් වෙනත් අයෙකුට එවැනි බෝතල් ලබා දී වෙළෙඳසැලෙන් යම් මුදලක් ලබා ගැනීමටත් හැකි වෙනවා. මේ අයුරින් මේ රටේ පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා අපි පරිසර අමාත්‍යාංශය විසින් ඉදිරි දැක්මක් සහිත පුළුල් වැඩ පිළීවෙළක් ආරම්භ කර තිබෙනවා යැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.