ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සෞඛ්‍ය කාර්ය මණ්ඩලට ලබාදීම ඇරඹේ.

covid srilanka health dokta dinuka guruge
By Nimal Apr 28, 2021 09:07 AM GMT
Nimal

Nimal

Report

 සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව ලබාදීම අද (28) කොළඹ නගරයේ ප්‍රධාන ස්ථාන දෙකක දී ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබුනි.

ඒ අනුව කොළඹ 10, ඩාර්ලි පාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ කොළඹ 14, සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී මෙම එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණි. එන්නත්කරණයට ප්‍රථම ඊයේ (27) දිනයේ දී SMS පණිවුඩයක් හරහා සෞඛ්‍ය අංශ නිලධාරීන්ට එන්නත්කරණය සිදු කරන ස්ථානයට පැමිණෙන ලෙස දැන්වීමට ද පියවර ගෙන ඇත.

කොළඹ මහ නගර සභාවේ ප්‍රදේශීය වසංගත රෝග වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවේ කොළඹ 10, ආර්නෝල්ඩ් රත්නායක මාවතේ ඩාර්ලිපාර ප්‍රඡා මණ්ඩලයේ දී සහ නිව් බසාර් මාතෘ නිවාසයේ දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල 800 කට එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු යොදා ඇති බවයි.

[WhatsApp Image 2021-04-28 at 13.08.23 _1_.

එමෙන්ම පළමු වර එන්නත ලබාගැනීමෙන් පසුව ප්‍රතිදේහ කොපමණ සෑදී තිබෙනවා ද යන්න සොයාබැලීම සදහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මගින් සිදු කරන පරීක්ෂණ කටයුතු සදහා රුධිර සාම්පල ලබාගැනිම සිදු කරන බව ද පැවැසීය. සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට නිව් බසාර් මාතෘ නිවාසයේ දී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පළමු එන්නත් මාත්‍රාව ලබාගත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 429 කට අද දින එන්නතෙහි දෙවන මාත්‍රාව ලබාදීමට නියමිත බව කොළඹ මහනගර සභාවේ දිශා අංක 01, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සසංක රණසිංහ මහතා පැවැසීය.

එම ස්ථානයේ එන්නත් ලබාදීමේ වැඩසටහන අද (28) සිට සිකුරාදා (30) දින දක්වා සිදු කිරීමට නියමිත බවත් ඒ මහතා පැවැසීය. ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සදහා ලබාදීමට එන්නත් මාත්‍රා ලක්ෂ 03 ක් වෙන්කොට ඇත. ප්‍රථමයෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට දෙවන මාත්‍රාව ලබාදීමට නියමිතය.

මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩාව මගින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රා එන්නත බෙදාහැරිමට සියළු කටයුතු යොදා ඇත.

Gallery