QR කේතය පරීක්ෂා කිරීමේ හැකියාව මහජනතාවට ලබාදිය නොහැකියි

srilanka excise cpilakumarasingha
By Nimal Apr 22, 2021 07:16 AM GMT
Report

. සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් මත්පැන් බෝතල මත ඇලවීම සදහා හඳුන්වාදෙන ලද ආරක්ෂිත ස්ටිකරයේ ඇති QR කේතය පරීක්ෂා කිරීමේදී එය ක්‍රියාත්මක නොවන බව පසුගිය 20 දින පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් පාර්ලිමේන්තුවෙහි දී ප්‍රකාශ කර ඇතත් , එසේ එකී ආරක්ෂිත ස්ටිකරයෙහි ඇතුලත් QR කේතය පරීක්ෂා කිරීමේ හැකියාව පොදු මහජනතාව වෙත ලබා දීමට හැකියාවක් නොමැති බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

2019.07.15 දින සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් බෝතල් සඳහා ආරක්ෂිත ස්ටිකරයක් හඳුන්වා දෙන ලද අතර, එසේ හඳුන්වා දුන් ආරක්ෂිත ස්ටිකරය මුලින්ම ආනයනික විදේශ මත්පැන් බෝතල් මත පමණක් ඇලවීමට කටයුතු කරන ලදී.

එම විදේශ මත්පැන් සදහා ආරක්ෂිත ස්ටිකරය හදුන්වා දීම සමස්ත ව්‍යාපෘතියෙන් 1% ක පමණ ප්‍රමාණයක් විය . යටිතල පහසුකම් පිළිබද අනනුකූලතාවයන් ඇතුඵ විවිධ කරුණු හේතුකොට ගෙන මත්පැන් කර්මාන්තය තුලින් ඇතිවූ ප්‍රතිරෝධයන් මත දේශීය වශයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග සදහා ස්ටිකරය ඇලවීම පමා කිරීමට සිදුවිය'

සුරාබදු නිවේදන අංක 07/2021 මගින් ප්‍රකාශයට පත් කොට ඇති විධිවිධාන අනුව, එම දේශීය වශයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග සදහා ස්ටිකරය ඇලවීම 2021.07.01 දින ආරම්භ කිරීමට නියමිතව ඇති අතර, එසේ කිරීමෙන් පසු මෙම ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ ක්‍රියාවලිය හා එම ආරක්ෂිත ස්ටිකර් කළමනාකරණ පද්ධතිය පූර්ණ වශයෙන් සක්‍රීය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

එම ආරක්ෂිත ස්ටිකර්වල ඇතුලත් කර ඇති QR කේත පරීක්ෂා කිරීම සදහා පොදු මහජනතාව වෙත ඊටම විශේෂිත වූ ජංගම යෙදවුමක් (Mobile App) හා කෙටි පණිවුඩ සේවාව මඟින් (SMS) නිරවද්‍යතාව තහවුරු කර ගැනීමට අදාළ පද්ධති නිර්මාණය කිරීම මේ වන විට සිදුවෙමින් පවතින අතර මෙම ව්‍යාපෘතිය පූර්ණ වශයෙන් සක්‍රීය වන අවස්ථාවේදී එම ජංගම යෙදවුම් (Mobile App) හා කෙටි පණිවුඩ සේවාව මහජනයා වෙත ලබාදීමට කටයුතු යොදා ඇත.

නමුත් ඉහත කරුණු මත දැනට එම ආරක්ෂිත ස්ටිකරයේ ඇති QR කේතය පරීක්ෂා කිරීමේ හැකියාව පොදු මහජනතාව වෙත ලබා දීමට හැකියාවක් නොමැති බවද කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් පැවසුවේය..