ශ්‍රීලංකන් ගුවන් සේවය කෙන්යාවේ නයිරෝබි නුවර වෙත මෙහෙයුම් අරඹයි.

srilanka airprost ashokpathirage
By Nimal Apr 22, 2021 09:43 AM GMT
Nimal

Nimal

Report

 ශ්‍රීලංකන් ගුවන් සමාගම කෙන්යාවේ නයිරෝබි නුවර වෙත ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය සීෂෙල්ස් වෙත පියාසර කිරීමෙන් පසු නැගෙනහිර අප්‍රිකාවේ මෙහෙයුම් සිදුකරන දෙවන ගමනාන්තය ලෙස කෙන්යාව එක්වනු ඇතැයිද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි..

ඒ අනුව නැගෙනහිර අප්‍රිකාවේ විශාලතම හා කාර්යබහුලම ගුවන්තොටුපළ වන ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ (NBO), සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල (BIA) අතර අද (22 ) දින සිට මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම බ්‍රහස්පතින්දා දිනකම නයිරෝබි වෙත සිය ගුවන් ගමන් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා පිරිමැසුම් පන්තියේ ආසන 269 ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28 ක් සහිත එයාර් බස් A330 වර්ගයේ ගුවන් යානා යොදවා ඇත. යූඑල් 1715 ගුවන් යානය පැය 10:45 ට කොළඹින් පිටත් වී පැය 14:40 ට ජොමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩබසිනු ඇත. පසුව UL1716 නයිරෝබි සිට පැය 04:40 ට පිටත් වී පැය 13:55 ට නැවත කොළඹට ලඟාවීමට සැලසුම් කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා තවදුරටත් අදහස් දක්වමින් , “ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රිකානු කලාපයට ව්‍යාප්ත කරමින් කෙන්යාවේ අගනුවර වෙත ගුවන් ගමන් දියත් කිරීම ගැන අපි සතුටු වෙනවා. නව මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ගෝලීය මාර්ග ජාලය හරහා බාධාවකින් තොරව සම්බන්ධතා ලබා ගනිමින් බොහෝ අය කෙන්යාවට ගොස් ලෝකයේ විශ්මය ජනක වන සතුන් ගවේෂණය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

” නැගෙනහිර සහ මධ්‍යම අප්‍රිකාවේ ව්‍යාපාරික හා විවේක කේන්ද්‍රස්ථානයක් ලෙස නයිරෝබි හඳුන්වා දිය හැකි අතර ඉන් පිටතට ප්‍රවාහනය සඳහා ඇති ඉල්ලුම ද විශාල ලෙස ඉහළ ගොස් තිබේ. නයිරෝබි පිහිටා තිබෙන්නේ පුළුල් ජල පෝෂක ප්‍රදේශයකට අයත්ව ගොඩබිම සහ ගුවන් සම්බන්ධතා ඇති උපාය මාර්ගිකව වන අතර එමගින් උගන්ඩාව, ඉතියෝපියාව, ටැන්සානියාව, රුවන්ඩාව, මලාවි, සැම්බියාව සහ මැඩගස්කරය වෙත ඉතා පහසු සම්බන්ධතා සපයයි. කෙන්යාවේ මාසායි මාරා ජාතික රක්ෂිතය, සෙරෙන්ගෙටි ජාතික උද්‍යානය සහ ටැන්සානියාවේ සැන්සිබාර් ඉතා ජනප්‍රිය සෆාරි සහ ජාතික උද්‍යාන ලෙස හැඳින්විය හැක.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී විපුල ගුණතිලක මහතා සඳහන් කළේ නැගෙනහිර අප්‍රිකාව, ඈත පෙරදිග සහ ඉන්දියානු උප මහද්වීපය අතර සැලකිය යුතු මාර්ග තදබදයක් ඇති කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මෙම නව මාර්ගය ඉඩ සලසන බවයි. එසේම මෙම නව මාර්ග ජාලය හරහා ප්‍රධාන ගමනාන්ත වෙත සම්බන්ධ වීමට කාලසටහන මඟින් ඉඩ ලබා දී තිබුණ ද, චීනයට සහ ඉන්දියාව වෙත ශක්තිමත් මෙහෙයුම් සිදු වනු දැකීමට අපේක්ෂා කරන බවද ඒ මහතා පෙන්වා දුන්හ.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් කේන්ද්‍රස්ථානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වන අතර එහි නවීන, පහසුකම් සහිතව ඉන්දියානු උපමහාද්වීපය, ඈත පෙරදිග සහ ඔස්ට්‍රේලියා ඇතුලු ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත ජාල වෙත ඉතා පහසු සම්බන්ධතා සපයයි. එසේම ප්‍රධාන ගමනාන්ත සමඟ බහුවිධ පිටත්වීම් පහසුකම් ලබාදේ. මෙම ගුවන් මෙහෙයුම් මගින් කෙන්යාවේ ප්‍රධාන අපනයන නිෂ්පාදන මෙන්ම ප්‍රධාන ආනයන සඳහා අමතර භාණ්ඩ ධාරිතාවයක් සපයනු ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් භාණ්ඩ අංශ ප්‍රධානී චාමර රණසිංහ මහතා අදහස් දක්වමින් , “කෙන්යාවේ නයිරෝබි වෙත මෙහෙයුම් ආරම්භ කිරීම ශ්‍රීලංකන් ගුවන් සේවය අප්‍රිකාව වෙත ව්‍යාප්ත කිරීම සඳහා ගත් ඉතා කදිම ක්‍රියාමාර්ගයක්. එසේම මෙම නව ගමනාන්තය සැලකිය යුතු ගුවන් භාණ්ඩ හුවමාරු මාර්ගයක් වනු ඇතැයි අපේක්ෂා කරන අතරම දැනට ප්‍රධාන වෙළඳ ගමනාන්ත වන ඈත පෙරදිග හා ඉන්දියාවට ද ඉතා හොඳ ගුවන් භාණ්ඩ ප්‍රවාහන පහසුකම් සලසා දෙයි. මෙම ගමනාන්තය අනෙකුත් ප්‍රධාන අප්‍රිකානු කේන්ද්‍රස්ථාන සම්බන්ධ කිරීමේ දොරටුවක් ලෙස ක්‍රියා කරනු ඇති අතර එමඟින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය පාරිභෝගිකයින්ට පෙර නොවූ විරූ මට්ටමකට ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කරයි”.යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්හ.