ලේනුන්ටත් උපත් පාලන ක්‍රමයක් එයි....එය කරන විදිය මෙන්න.

Squirrels
By Thaya Feb 02, 2021 06:33 PM GMT
Thaya

Thaya

Report

බ්‍රිතාන්‍යයේ අළු පැහැති ලේනුන්ගේ බෝවීම පාලනය කිරීම සඳහා උපත් පාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අළු පැහැති ලේනුන්ට පමණක් ඇතුළු විය හැකි සිදුරු සහිත පෙට්ටිවල උපත් පාලන ඔසු මුසු කළ ආහාර තැබීම මෙම උපත් පාලන වැඩපිළිවෙළය. වසර තුනකට ආසන්න කාලයක් මේ සඳහා පර්‌යේෂණ පවත්වා තිබේ. එරට පරිසර ඇමැති ​​ගෝල්ඩ් ස්මිත් ප්‍රකාශකර ඇත්තේ මෙම ලේනුන් එක්සත් රාජධානියේ වනාන්තරවලට කරන හානිය නිසා වාර්ෂිකව සිදුවන පාඩුව ස්ටර්ලින් පවුම් මිලියන 1.8ක් බවය.

එක්සත් රාජධානියේ වනාන්තරවල ගස්වල කඳන්හි පොතු ගලවා දැමීම ලේනුන් කරන හානියයි. දේශගුණ විපර්යාසයට මුහුණ දීම සඳහා එක්සත් රාජධානියේ ආරම්භ කර ඇති වන වගාවට ලේනුන් නිසා අනතුරක් උද්ගතව ඇතැයි ගෝල්ඩ් ස්මිත් ප්‍රකාශ කරයි. වන ආරක්ෂණය සහ ලේන් ආරක්ෂණය පිළිබඳව එක්සත් රාජධානියේ ලේන් සම්මුතියද ලේන් උපත් පාලන වැඩපිළිවෙළ අනුමත කර තිබේ. මෙම සම්මුතිය චාල්ස් කුමාරයාද එක්ව සකස් කළ එකකි. අළු ලේනුන් එක්සත් රාජධානියට එන්නේ 19වැනි සියවසේ ඇමරිකාවේ සිටය.

එක්සත් රාජධානියට ආවේණික රතු පැහැති ලේනුන්ද අළු ලේනුන්ගේ ආක්‍රමණය නිසා අනතුරට පත්ව තිබේ. ලේන් උපත් පාලන වැඩපිළිවෙළ මගින් අළු ලේනුන්ගේ වර්ධනය සියයට 90කින් පමණ පාලනය කරගත හැකි යැයි එක්සත් රාජධානියේ පරිසර අමාත්‍යාංශය කියයි. කොහොම නමුදු එඩින්බ්‍රා නේපියර් සරසවියේ පරිසර විද්‍යාඥ ජේසන් ගිල්ක්‍රිස්ට් ප්‍රකාශ කරන්නේ පරිසරයේ ජෛව විවිධත්වය රැකගැනීමට ගෙන තිබෙන මෙකී පියවර වෙඩි උණ්ඩයකට වඩා හොඳ බවය.