දේවස්ථානවලට අද විශේෂ ආරක්ෂාවක්..පාස්කු ඉරිදා අදයි.

Police
By Thaya Apr 04, 2021 03:48 PM GMT
Thaya

Thaya

Report

ලොව පුරා කිතුනු බැතිමතුන් අද පාස්කු දිනය සමරනවා. කිතුනු ජනතාවගේ උතුම්වූ මංගල්‍යය වන්නේද පාස්කුවයි. ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා ආරම්භවන දින 40ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් අධ්‍යාත්මික වතාවත්හි නිරතවන අතර පාස්කු ඉරුදින ඔවුන් උන්වහන්සේගේ උත්ථානවීම සමරනවා. වෙනත් වසරවල මෙන් නොව මෙරට කිතුනු බැතිමතුන්ට මෙවරද පාස්කු දිනය සැමරීමට සිදුව ඇත්තේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සෑම දේවස්ථානයකම ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර ඇති බවයි.

ආරක්ෂක අමාත්‍යාංශයද පැවසුවේ මෙම ශුද්ධ වූ සතිය තුළ සහ පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට පියවර ගෙන ඇති බවයි. ඒ අනුව අදාල කාලසීමාව තුළ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, රට තුළ ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර කරන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත්කරනු ලැබ තිබෙනවා. අන්තවාදය, ප්‍රචණ්ඩත්වය හෝ භීෂණය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස සහ එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද දේවස්ථාන විසින් පත්කරන ලද සෝදිසි කමිටු ඇතුළු බැතිමතුන්ගෙන් මෙන්ම ජනතාවගෙන් ද ඉල්ලා සිටින බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ. මෙරට කිතුනු බැතිමතුන් මෙවර පාස්කු ඉරිදා දිනය සමරන්නේ 2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූවන් ද සිහිකරමින්. අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම ඉකුත්දා සිය වාර්තාව ජනාධිපතිවරයා භාර දුන්නා. එහි ඇති නිර්දේශ පිළිබඳ අධ්‍යයන කිරීම සඳහා අමාත්‍ය අනු කමිටුවක්ද පත් කර තිබෙනවා.