26 හැවිරිදි අතුරුදන් වූ තරුණයා සොයා මෙහෙයුම්..

Police
By Thaya Mar 12, 2021 06:45 PM GMT
Report

බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට රක්ෂිතය තුළට පිවිසියේ යැයි පවසන තරුණයෙකු අතුරුදහන් වී ඇති අතර, එම තරුණයා සොයා මේ වන විට පොලිස් මෙහෙයුමක් දියත් කර තිබේ. දින තුනක කාලයක් එම තරුණයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති නමුත් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් මෙතෙක් ලැබී නැතැයි බගවන්තලාව පොලීසිය පවසයි. එසේ අතුරුදන්ව ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලින්ස්ටඩ් තේ වත්තේ ඉහළ කොටසේ පදිංචිව සිටි තිරුචෙල්වම් ප්‍රභාකරන් නැමති 26 හැවිරිදි තරුණයෙකි.

අතුරුදන්ව ඇති තරුණයා මාර්තු 9 වන දින උදෑසන බෝපත්තලාව රක්ෂිතයට දර කැඩීමට ගිය බවත්, එදින සිට මේ වන තෙක් නිවසට නොපැමිණි බවත් පවසමින් ඔහුගේ දෙමාපියන් පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ. තරුණයා දර කැඩීමට රක්ෂිතයට නිතර යන එන අයෙක් බවත්, ඔහුගේ ජංගම දුරකථනය මේ වන විට ක්‍රියා විරහිත වී ඇති බවත් බගවන්තලාව පොලීසිය පවසයි. හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ සුනඛයෙකුගේ සහයෝගය ඇතුව ඊයේ (11) පස්වරුව වන තෙක් මෙහෙයුම් දියත් කලද අතුරුදහන් වු තරුණයා පිළිබඳ ව මෙතෙක් කිසිදු තොරතුරක් ලැබි නොමැති නොමැති බවත් තරුණයාගේ ජංගම දුරකථනයෙන් ලබාගත් ඇමතුම් ඔස්සේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් බලවන්තලාව පොලීසිය සඳහන් කළේය.