උද්ඝෝෂණය කරන්නන් අත්අඩංගුවට ගැනීම නවත්වන්නේ නෑ – මහජන ආරක්ෂක ඇමති

By Wasantha Jul 09, 2021 08:32 AM GMT
Report

ඊයේ (08) උද්ඝෝෂණ හා විරෝධතා වල නියැලීම හේතුවෙන් නිරෝධායන යවා තිබෙන කාන්තාවන්ටත් මීට පෙර නිරෝධායනයට ලක්කර කාන්තාවට දැක්වූ සෙනෙහස හා ආදරය දක්වන ලෙස අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා.

මේ කාන්තාවන්ටත් අර සෙනෙහස දක්වන්න උද්ඝෝෂණයට සම්බන්ධ වූ කාන්තාවන්ගේ ඇඳුම් හා ගවුම් ඉරා රැගෙන ගිය බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ කාන්තාවන්ට ලෙන්ගතු කමක් , ආදරයක් ඔබතුමන්ට ඇති වෙන්නේ නැති වුණත් සමහර කාන්තාවන් ගැන විශාල ලෙන්ගතුකමක් ඇතිවුණ බව අමාත්‍යවරයා ඉදිරියේදීම සදහන් කළා.

එසේ ඇති වූ ලෙන්ගතු කම ගැන තමා වැරැද්දක් නොකියන්නෙ එය මනුෂ්‍යත්වය නිසාවෙන් ඇති වූ බව සඳහන් කරන මන්ත්‍රීවරයා ඒ මනුෂ්‍යත්වය මත සමහර කාන්තාවන් පිළිබඳව ඔබතුමාට ආදරයක් , සෙනෙහසක් , ලෙන්ගතුකමක් ඇතිවීම ගැන ප්‍රශ්නයක් නැති බව සඳහන් කළේ සභාවේ සිනහ හඬ මැදය.

වහාම යළි කැඳවන්න එනිසා වහාම නිරෝධායනයට යවා තිබෙන මේ පිරිස කැඳවන ලෙසයි මන්ත්‍රීවරයා ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කළේ. මීට පෙර බණ්ඩාරවෙල නිරෝධායනයට යැවූ කාන්තාවට දැක්වූ සෙනෙහස , ආදරය මේ වන විට නිරෝධායනය සඳහා මුලතිව් වෙත යවා තිබෙන කාන්තාවන්ටත් දක්වන ලෙස සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.