ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවෙයි....
වරාය නැගෙනහිර ජැටිය විකිණීමට තමන් ද විරුද්ධ බවත් වත්මන් රජය යටතේ ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රටට ආයෝජන ගෙනඒම ජාතික සම්පත් විකිණීමක් නොවන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 04 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර තිබු මිනුවන්ගොඩ ආසන සමුළුවේ දී ඇමතිවරයා මේ බව අවධාරණය කළේ ය.
පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලැබුණු ජනවරමට පිටුපෑමට ආණ්ඩුව සුදානම් නොමැති බවයි. එම ජනවරමට හානි වන කිසිදු තීන්දුවක් ජනාධිපතිවරයා,අගමැතිවරයා හෝ ආණ්ඩුව නොගන්නා බවට ද ඔහු සහතික වෙයි.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටෙවුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලියාගේ නැට්ටේ ගැටගැහුවාට පස්සේ අපේ පාක්ෂිකයන්ට යනඑන මං නැති වුණු නිසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජීවිතේට ගොඩගන්න බෑ. අද ඔය තරමට හරි රැකිලා ඉන්නේ අපිත් එක්ක එකතු වුණු නිසයි. දැන් බලන්න යූඑන්පී එකට වෙලා තියෙන දේ. එක මන්ත්‍රී කෙනෙක් පත් කරගන්න බෑ. යුඑන්පි ප්‍රබලයෝ ගිහින් හදපු පක්ෂය අද නන්නත්තාරයි. පක්ෂයක් හදන්න පුළුවන්. හැබැයි පවත්වාගෙන යන්න අමාරුයි. අපි පිහිටවපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද ආසියාවේ ශක්තිමක් ම පක්ෂයක් බවට පත්වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ කැප කිරීම නිසායි.
කොවිඩ් වසංගතය මර්දනය කරපු රටවල් අතර ශ්‍රි ලංකාව ප්‍රමුඛස්ථානය ගෙන තිබෙනවා.සංචාරක ඇමතිවරයා විදිහට මම අභියෝගයක් භාරගෙන තිබෙනවා මේ රටට සංචාරකයන් ගේන්න. සංචාරකයන් ගේන්න හදනකොට විපක්ෂය කිව්වේ අපි සංචාරකයෝ ගේන්න හදනවා පිටරටවල ඉන්න අපේ රටවිරුවෝ ගේන්නේ නෑ කියලා.
මේ වෙනකොට 70,000කට වැඩිය විදේශ ශ්‍රමිකයන් අපි ලංකාවට ගෙනත් තියෙනවා. සතියකට දවස් 05 මැදපෙරදිග ඉදලා අපි විදේශ ශ්‍රමිකයෝ ගේනවා එම රටවලින්. රජයේ වියදමින් නිරෝධානය වෙන්න අකැමැති අයට අපි හෝටල්වල සල්ලි ගෙවලා නිරෝධායනය වෙන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයෙන් ලක්ෂ 30 ක් ඍජුව හා වක්‍රව ජීවත් වෙනවා. මාස 10 ක් කිසිම ආදායමක් මේ අයට තිබුණේ නෑ. සංචාරක ව්‍යාපාරයේ නිරතවෙලා හිටපු අය රොටී, පොළොස්, පොල් විකුණනවා අපි දැක්කා. ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත් මැදිහත් වෙලා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරලා සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙලක් හැදුවා. විපක්ෂයට ඕනේ රට සංචාරකයන්ට වහලා තියන්න. සංචාරක ව්‍යාපාරය යළි ගොඩනැගුණහොත් රටේ ආර්ථිකයට එය විශාල ශක්තියක් බව විපක්ෂය දන්නවා. ඒ හින්දා තමයි ජනතාව අතර බොරු වපුරන්නේ සංචාරක ව්‍යාපාරයට එරෙහිව. සංචාරක ව්‍යාපාරය යළි ඇරඹීම මුලු රටටම බලපානවා. පහුගිය ටිකේම විපක්ෂය සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ආණ්ඩුවට ගැහුවා. එහෙම ගහන්න ගහන්න අපි ශක්තිමත් වෙනවා. සංචාරකයන්ට රට විවෘත කරලා පළවෙනි පැය 24 තුළ පමණක් විදේශිකයන් 164 දෙනෙක් ලංකාවට එන්න වීසා ඉල්ලලා තියෙනවා. මේ ආණ්ඩුව අභියෝගවලින් පැනලා යන ආණ්ඩුවක් නෙමෙයි.

