රන්ජන්ට සමාව දෙන්නැයි සජිත් ජනපතිගෙන් ඉල්ලයි

PRESIDENT REQUEST RANJAN SAJITH CORT
By Sewvandhi Apr 20, 2021 05:07 PM GMT
Report

සිරදඬුවමකට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් තමාට ලිඛිත අයදුමක් කරන ලෙස ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරු වීම හේතුවෙන් සිව් වසරක සිරදඬුවමකට ලක්වූයේ ඉකුත් ජනවාරි මාසයේදීය. ඒ අනුව, ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයද අහෝසිවිණි.

රන්ජන් රාමනායක මහතාට මීට අදාළව ජනාධිපති පොදු සමාවක් ප්‍රදානය කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර විපක්ෂ නායකවරයා ඊයේ (19) පැවති එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට ඒ ගැන දැනුම් දී තිබේ.

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ, ඒ අනුව රන්ජන් රාමනායක මහතාගේ ජනාධිපති සමාවට අදාළව ලිඛිත ඉල්ලීම ඉදිරියේදී සිදුකරනු ඇති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව, අධිකරණයෙන් වරදකරුවකු වූ පුද්ගලයකුට ජනාධිපති සමාව ප්‍රදානය කිරීම සඳහා හැකියාව පවතී.