ධීවර සංස්ථාව හිරවෙයි - පිටින් ගත් මාලුවලට කෝටි 60ක පොල්ලක්? විගණන වාර්තාවෙන් සියල්ල එළියට
ලංකා ධීවර සංස්ථාව විසින් බාහිර පාර්ශවයන්ගෙන් මිලදී ගත් මසුන් සඳහා රුපියල් කෝටි 600කට අධික ණය මුදලක් ගෙවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ඒ අනුව, බාහිර සැපයුම්කරුවන් වෙත ගෙවිය යුතු මුළු මුදල රුපියල් 607,536,937.23ක් ලෙස සඳහන් වන අතර, එම මුදලෙන් රුපියල් 162,015,002ක් වසර දෙකකට වඩා වැඩි කාලයක් ගතවී තිබියදීත් ගෙවා නොමැති ණය බව වාර්තාව පෙන්වා දෙයි.
එමෙන්ම, 2025 මාර්තු 31 වන විට සංස්ථාව විසින් රාජ්‍ය බැංකුවකට ගෙවිය යුතු ණය මුදල රුපියල් 158,623,208ක් වූ අතර, එයට අදාළ පොලී මුදල රුපියල් 98,005,988ක් ලෙස සඳහන් වේ. තවද, බැංකු අයිරා මුදල රුපියල් 82,279,516ක් දක්වා ඉහළ ගොස් තිබූ බවද අනාවරණය වී ඇත.
මෙම බැංකු ණය සඳහා භාණ්ඩාගාරය ඇප වී තිබූ අතර, අයිරා පහසුකම් සඳහා ශීතකරණ සහිත ලොරිරථ 44ක් සමඟ ඉඩම් කිහිපයක් ද ඇප ලෙස තබා ඇති බව විගණනය හෙළි කරයි. එසේම, නියමිත කාලය තුළ ණය ගෙවීම් සිදු නොකිරීම හේතුවෙන් ණය හිඟව පවතින බවද සඳහන් වේ.
විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මසුන් මිලදී ගැනීම සඳහා ලබාගත් ණය පියවීම පිළිබඳව සංස්ථාවේ අවධානය ප්‍රමාණවත් ලෙස යොමු වී නොතිබූ බවයි.
කෙසේ වෙතත්, සංස්ථා කළමනාකාරීත්වය ප්‍රකාශ කර ඇත්තේ, මූල්‍ය තත්ත්වය යහපත් වූ පසු දිගුකාලීනව පැවති ණය පියවීමට කටයුතු කරන බවයි. එමෙන්ම, පවතින මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් බැංකු ණය ගෙවීමට නොහැකි වූ බවත්, මේ සම්බන්ධයෙන් අදාළ බැංකුව සමඟ සාකච්ඡා කරමින් පවතින බවත් සඳහන් කර ඇත.
තවද, මෙම ගැටළුව පිළිබඳ ඉල්ලීමක් ධීවර නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවද කළමනාකාරීත්වය විසින් විගණනයට දන්වා තිබේ.