රිෂාඩ් ව අත්අඩංගුවට ගත්තේ ඇයි?

CID ARRESTED RISHARD BADURDEEN ESTER ATTACK RIYAJ BADURDEEN
By Sewvandhi Apr 24, 2021 05:11 PM GMT
Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් අද (24) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගය ද පසුව ගත්තේය.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අද අලුයම 02ට පමණ කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත. එහිදී අත්අඩංගුවට ගැනීමට පෙර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායකයා වන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක්ද නිකුත් කර තිබුණි.

එම වීඩියෝවෙන් ඔහු පැවසුවේ,

"වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවාද? කථානායක දැනුවත් කළාද කියලා මම ඇහුවා. ඊයේ දවසෙම මම පාර්ලිමේන්තුවේ හිටියේ. මම ගැන කිසිදෙයක් කතා වුණේ නැහැ. අලුයම 2.30ට 3.00ට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිසක් ඇවිත් යන්න ලෑස්ති වෙන්න කිව්වා. මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වගේම පක්ෂ නායකයෙක්. ඒ නිසා මාව අත්අඩංගුවට ගන්නවා නම් කථානායක දැනුවත් කරලා ඉන්න ඕනේ. මම ඇහුවා කථානායක දැනුවත් කළාද කියලා. එයාලා උත්තර දුන්නේ නැහැ. මට මොන විදියේ චෝදනාවක් ගොනු කරයිද කියලා මම දන්නේ නැහැ. මම වැරදි කරලා නැහැ. මම පව් කරලත් නැහැ. මගේ අත් පිරිසිදුයි. අල්ලා කවදාවත් එයාලව අත්හරින්නේ නැහැ." යනුවෙනි.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් මහතාද එම චෝදනා මත වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අත්ඩංගුවට ගත්තේය. ඔහු මීට පෙරද පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගය මත රඳවාගෙන ප්‍රශ්න කළ අතර පසුව ඔහුව සාක්ෂි නොමැති බව පවසමින් නිදහස් කළේය.

මේ අතර රිෂාඩ් බදියුදීන් සහ රියාජ් බදියුදීන් වෙනුවෙන් ඔවුන්ගේ නීතීඥවරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ සාධාරණ කරුණු දැක්වීමකින් තොරව එම දෙපළ අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් බවය.

ඔවුන් දෙදෙනා පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බව සනාථ කිරීමට සාක්ෂි පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන්ද අනාවරණ කරගෙන නොමැති පසුබිමක මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන වුවමනා මත සිදුවූවක් ලෙසින් සලකන බව එම නිවේදනයේ සඳහන් වේ. මේ අතර, මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කරුණු පැහැදිලි කළේය.

ඔහු පැසුවේ, "කතානායකවරයාගෙන් අපරාධ විමර්ශන එකකය මගින් අවශ්‍ය කරන අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවේ පාස්කු ප්‍රහාරයට අදාළවම ප්‍රහාරය එල්ල කළ ස්වං ඝාතකයින් සමග සම්බන්ධතා පවත්වමින් ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට අවශ්‍ය මුදල් උපයා ගැනීමට ආධාර අනුබල දුන් බවට සාක්ෂිවලින් කරුණු අනාවරණය වී තිබෙනවා. පොලීසිය විසින් දිගින් දිගටම කරන විමර්ශන කටයුතුවල ප්‍රතිඵලයක් ලෙස සනාථ වු පසු මෙසේ වරින්වර අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බවත් ප්‍රකාශ කළ යුතුයි," යනුවෙනි.

එමෙන්ම, මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ රිෂාඩ් බදියුදීන් හා රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගත්තේ විශ්ලේෂණාත්මක දත්ත හා සාක්ෂි ඇසුරෙන් බවය. එමෙන්ම තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවද ඒ මහතා එහි දී පැවසීය.

සිව්දෙසින් ගලාඑන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb