අනුරාධපුර ලංකාරාමයේ වැලිමලුව ප්‍රතිසංස්කරණය පොසොන් මාසයට පෙර ..

Anuradhapura
By Thaya Mar 15, 2021 08:34 PM GMT
Thaya

Thaya

Report

අනුරාධපුර අටමස්ථානයට අයත් එක් පෞරාණික විහාරයක් වන ලංකාරාමයේ වැලිමලුව ප්‍රතිසංස්කරණය කිරීම පසුගියදා (13) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙසින් ඇරඹිණි. ලංකාරාමයේ වැලිමලුව ප්‍රතිසංස්කරණ කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කරනු ලබයි. ලංකාරාමය යනු ක්‍රි. පූ. 89-77 අතර කාලයේ මෙරට රජ කළ වට්ඨගාමිණී අභය හෙවත් වළගම්බා රජු විසින් ඉදි කරන දාගැබක් ලෙස ඉතිහාසයේ සඳහන් වේ. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු පසුකාලීනව සිදු කරනු ලැබීය.වළගම්බා රජු විසින් ඉදි කරන ලදැයි සැළකෙන මණිසෝමාරාමය, මණිථූපාරාමය හා ශිලාසොබ්බකන්දක යන

නම් වලින් හඳුන්වා ඇති දා ගැබ ලංකාරාමය ලෙස හඳුනා ගෙන තිබේ. මෙම ඓතිහාසික දාගැබේ වැලිමලුව පැරණි රජදවසින් පසුව කිසිදු කළෙක සකස් කර නොමැත. එමනිසා මෙම දාගැබ වන්දනාව පිණිස පැමිණෙන සැදැහැවතුන්ට පහසු වන පරිදිත්, දාගැබ් කර්මාන්තයේ දී අතිශය වැදගත් ලක්ෂණයක් වන වැලිමලුවක් දැනට මෙහි දක්නට නොමැති නිසාත් මෙහි වැලිමලුව ඉදි කිරීමේ කටයුතු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.

මෙම වැලිමලුවට අතුරනු ලබන වැලි ප්‍රමාණය වැලි කියුබ් 500කි.ලංකාරාම දාගැබේ වැලිමලුව සකස් කිරීමේ කටයුතු සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, හා හිටපු මහඇමැති එස්. එම්. රංජිත් යන මහත්වරු ද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා යන මහත්වරු සහභාගි වුහ. මෙම වසරේ පොසොන් මාසයට පෙර මෙම වැලිමලුව සැකසීමේ කටයුතු අවසන් කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

Gallery