මද්‍රසා පාසල් ගැන කොමිසම දුන් නිර්දේශ වහාම ක්‍රියාත්මක කරනවා – අධ්‍යාපන ඇමැති

Education
By Thaya Mar 10, 2021 07:18 PM GMT
Report

මද්‍රසා පාසල් පිළිබඳ පාස්කු කොමිසම දුන් නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් බවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන ඇමැති, ජී.එල්. පීරිස් මහතා පැවසීය.

බොදු බල සේනා සංවිධානය තමනම් කිරීම සුදුසු නැති බවත් එම සංවිධානය සම්බන්ධයෙන් පාස්කු කොමිසම දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු බවද ඇමතිවරයා කියා සිටියේය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

පාස්කු කොමිසම දුන් සෙසු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සුදුසු බව කී ඇතැමැතිවරයා බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමෙන් යහපතක් වේ යැයි විශ්වාස නොකරන බවද කියා සිටියේය.

පාසල්වල උගන්වන්නේ මොනවාද ඒවායේ හර පද්ධතීන් කෙබඳුද යන්න සොයා බැලීමට රජයට වගකීමක් ඇති බවද පෙන්වා දුන්නේය.

අධ්‍යාපනය ආරක්ෂාව ඇතුළු සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම පාස්කු කොමිසම් වාර්තාවේ කරුණු ඇතුළත් හෙයින් එය විවේචනය කිරීමට පෙර එම වාර්තාව හොඳින් කියවා බලන ලෙසද ඇමැතිවරයා ඉල්ලා සිටියේය.