ලියාපදිංචි වී රට රැකියාවලට ගිය අය නිරෝධායනය රජයේ වියදමින් ....
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගොස් නියමිත කාලය අවසන් කර ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අය කාර්යාංශයේ මුදලින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමටත් ඔවුන්, කාර්යාංශය වියදමින් නිරෝධායනය කිරීමටත් අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා පවසයි. ඇමැතිවරයා මෙම අදහස් පළකලේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙහිදී අදහස් දැක්වු නිමල් සිරිපාලද සිල්වා මහතා ,විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මේ වන විට තිස් දහසකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවට නැවත පැමිණ තිබෙනවා .නමුත් තවත් විසි 20000ට ආසන්න පිරිසක් ගෙන්වා ගැනීමට නියමිතයි.ඔවුන් ගෙන්වා ගැනීමට ප්‍රධාන බාධකය වී ඇත්තේ ශ්‍රී ලංකාවට ඔහු පැමිණීමෙන් පසු නිරෝධානය කිරීම සඳහා අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ප්‍රමාණවත්නොවීමයි.
එම නිසා සෑම දිස්ත්‍රික්කයකම හෝටලයක් හෝ නේවාසික පහසුකම් ඇති ස්ථානයක් කුලියට ගෙන නිරෝධායන මධ්‍යස්ථානයක් බැගින් පිහිටුවීමට කටයුතු යොදා ඇති අතර ඉන් පළමු වෙනි නිරෝධායන මධ්‍යස්ථාන අටක් සති දෙකක් ඇතුළත ආරම්භ කරන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය. ඒ අනුව එම නව නිරෝධායනය මධ්‍යස්ථාන පිහිටුවීමට හඳුනාගත් සුදුසු ගොඩනැගිලි පිළිබඳ ලැයිස්තුව මේ වන විට covid මර්දන කාර්ය සාධක බළකායේ ප්‍රධානී යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත යොමුකර ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.
එම මධ්‍යස්ථානවල සියලු වියදම් දරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය බවද මෙම විගමනිකයන් ගෙන්වා ගැනීමේ දී ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදෙස් රැකියා සඳහා ගිය අයට බව ද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.ආරම්භක පියවර හැටියට දිස්ත්‍රික් අටක පමණ මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කරන බවත්, එසේම ඉදිරියේ දී සෙසු දිස්ත්‍රික්කවල ද මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කර විදෙස්ගතව සිටින අපේ ශ්‍රමික ජනතාව කඩිනමින් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා මෙහි දී පැවසීය. සමහර විට ඉදිරියේදී මෙම විදෙස්ගත ශ්‍රී ලංකිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධව කෝවිඩ් මර්දන රෙගුලාසි ලිහිල්වීමට ඉඩ ඇති බවත්, එසේ වුවහොත් විගමනික ශ්‍රමිකයන් මීට වඩා වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වන බව ද ඇමැතිවරයා පැවසීය. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද එක් වූහ.