කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ජනපතිගේ නිරීක්ෂණයට

president seeduwa covid19 treatment center brandex aparel factory
By Sewvandhi May 18, 2021 12:56 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ. බ්‍රැන්ඩික්ස් ආයතනය ලබාදුන් ගොඩනැගිල්ලක ඉදිකෙරුණු ප්‍රතිකාර මධ්‍යස්ථානය වාට්ටු 03කින් සමන්විත වේ.

එක්වර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 1,200කි. නවීන තාක්ෂණ මෙවලම් ඇතුළුව නේවාසික රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාව සුරැකෙන පහසුකම් රැසක් මධ්‍යස්ථානය සතුව පවතී.

යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව දින 10ක් වැනි කෙටි කාලයකදී එහි ඉදිකිරීම් නිමකර තිබේ. රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ ආබාධිත රණවිරුවන් විසින් පැය 24ක් වැනි කෙටි කාලයකදී ඊට අවශ්‍ය ඇඳ ඇතිරිලි කට්ටල 2,000ක් මසා නිමකර ඇත.

ප්‍රායෝගිකව නිවෙස්වල ප්‍රතිකාර දිය නොහැකි, එහෙත් බරපතළ රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන්ට මෙහිදී ප්‍රතිකාර කිරීමට නියමිතය. එමගින් රෝහල්වල ඇතිවිය හැකි තදබදය වළක්වා ගැනීම සහ අසාධ්‍ය රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව සලසා දීම අපේක්ෂා කෙරේ.

මෙහි ප්‍රතිකාර කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුද හමුදා වෛද්‍ය බලකාය එක්ව සිදු කරනු ඇත. මේ අතර මෙරට PCR පරීක්ෂණාගාර සංඛ්‍යාව ඉහළ නැංවීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

කොවිඩ් -19 පාලනය කිරීමට අවශ්‍ය මුදල් සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කර ඇති බැවින් කඩිනමින් PCR පරීක්ෂණාගාර වැඩි කිරීමට පියවර ගන්නා බව අද (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළාය.

දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ඉහළ යෑම හමුවේ දැනට පවතින PCR පරීක්ෂණාගාරවල ධාරිතාව වැඩි කිරීමට ද මේ වනවිට කටයුතු කර ඇති බව අමාත්‍යවරිය පැවසුවාය. ඒ අනුව එම පරීක්ෂණාගාර පැය 24 පුරා ක්‍රියාත්මක කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now