කොවිඩ් එන්නත ලබා දීමේදී දේශපාලඥයින්ට ප්‍රමුඛතා ලැයිස්තු නැහැ.
කොවිඩ් 19 වසංගතයට බියේ හැමදාම රට වසා තබන්නට බැහැ. කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැන අද අපේ රටේ ජනතාව සියයට සියයක්ම දැනුවත් වෙලා ඉන්නේ. මේ වයිරසය කිසිවෙකුගේ ඇගට බළෙන් කඩා පනින්නේ නැහැ. අපි සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් පරිදි කටයුතු කරන්නේ නම් කොවිඩ් 19 වයිරසයෙන් ආරක්ෂා වීමට අපිට හොඳටම පුලුවන්. මේ වසංගත තත්ත්වය නිසා රට තවදුරටත් වහාගෙන ඉන්න බැහැ. එසේ කිරීමෙන් සිදු වන්නේ රටේ ආර්ථිකය ඇතුළු සියලු කටයුතු පහත වැටීමයි. ජනාධිපතිතුමන් කොවිඩ් 19 නිසා බලපෑමට ලක් ව තිබෙන රට නගා සිටුවීමට දරණ ප්‍රයත්නයට සියලු දෙනාගේ සහයෝගය ලබා දිය යුතු යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අගුනකොළපැලැස්සේ දී පැවැති උත්සවයක් අමතමිනි.
පාසල් දරුවන් සඳහා අමිල කුමාරසිංහ පදනම විසින් පාසැල් උපකරණ ලබා දීමේ වැඩ සටහනක් සංවිධානය කර තිබු අතර ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. එහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් සිසුන් විශාල පිරිසකට පාසැල් උපකරණ කට්ටල පිරිනමනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා. අද විපක්ෂය කොවිඩ් 19ට මුවාවෙලා බොර දියේ මාළු බාන්නට හදනවා. මේ වසංගත තත්ත්වය අපේ රටට පමණක් බලපා තිබෙන ප්‍රශ්නයක් නොවෙයි. කොවිඩ් 19 වසංගතය අද සමස්ත ලෝකයටම බලපෑම් එල්ල කර තිබෙනවා. නමුත් අපි රජයක් වශයෙන් ගත් උත්සාහයන්වල ප්‍රතිපල නිසා මේ වසංගත තත්ත්වය කිසියම් මට්ටමකට පාලනය කර ගැනීමට අපිට හැකි වී තිබෙනවා. ඒ සඳහා කටයුතු කළ සෞඛ්‍ය සේවය හා හමුදා අංශවල සියලු සාමාජිකයින් අගය කළ යුතුයි. අපි තිත්ත වුනත් ඇත්ත පිළීගත යුතුයි.
මේ වසංගත තත්ත්වය නිසා අපේ ආර්ථිකයට ප්‍රබල මරු පහරක් වැදී තිබෙනවා. අපේ සංචාරක කර්මාන්තය, අපනයන ආදායම්, මැදපෙරදිග ඇතුළු විදෙශ රටවල සේවය කරන වෘත්තිකයින්ගෙන් ලැබෙන ආදායම්, ආදි සියලු අංශ අකර්මණ්‍ය වී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ විපක්ෂය සිදු කළ යුත්තේ බොර දියේ මාලු බෑම නොව මෙම තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා රට වෙනුවෙන් ඒකමතිකව කටයුතු කිරීම.
කොවිඩ් 19 එන්නත ගැන දැන් බහුළ වශයෙන් කතා වෙනවා. මේ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලයේත් සාකච්ඡා වුනා. කොවිඩ් 19 සඳහා සුදුසු එන්නත ඇස්ට්‍රාසෙනෙකා ද, එහෙම නැත්නම් ෆයිසර් එන්නත, හෝ සිනොවැක් එන්නත ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනවා. නමුත් අපේ රජය සෞඛ්‍ය විශේෂඥ මතය අනුව ලබා දිය හැකි හොඳම එන්නත අපි අපේ රටේ ජනතාවට ලබා දෙනවා. ඒක ඉතා පැහැදිළීයි.
නමුත් එවැනි එන්නතක් ලබා දුන්නද, කොවිඩ් 19 වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක කළ යුතුයි. ඊට හේතුව තමයි මෙම එන්නත ලබා දීමේ දී ප්‍රමුඛතාවය මතයි ලබා දෙන්නේ. විශේෂයෙන් අවුරුදු 75ට වැඩි වැඩිහිටියන්, රෝගින් සමග නිතරම ගැටී කටයුතු කරන සෞඛ්‍ය අංශවල සේවකයින් මෙන්ම හමුදා අංශවල අයටත් ප්‍රමුඛත්වය ලැබෙනවා.
කොවිඩ් 19 එන්නත ලබා දීමේ දී දේශපාලනඥයින්ට ප්‍රමුඛතාවයක් ලැබෙන්නේ නැහැ. මම දැක්කා මුහුණු පොතේ සඳහන් කරළා තියෙනවා ඔක්කොටම ඉස්සරවෙළා දේශපාලකයෝ මෙම එන්නත ගහ ගනියි කියළා. එසේ සිදුවන්නේ නැහැ. දේශපාලකයින් සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් නැති බව මම ප්‍රකාශ කරනවා.
අද දේශපාලනඥයෝ තරම් උපහාසයට ලක්ව තිබෙන වෙනත් පිරිසක් නැහැ. වැඩිපුරම කාටුන් අඳින්නේ දේශපාලකයෝ ගැන. දේශපාලනය මේ තරම් අපහාසයට හා උපහාසයට ලක් වන්නේ අපේ රටේ විතරක් නොවෙයි ලෝකයේම ගත්තත් ඇතැම් පිරිස් සිදු කරන බොළඳ වැඩ නිසා. ඒ නිසා සමස්ත දේශපාලනයම අපහාසයට හා උපහාසයට ලක්ව තිබෙනවා.
කොවිඩ් 19 යැයි කියමින් අපි නිකම් ඉන්නේ නැහැ. අපි ජනතාව උදෙසා වැඩ කරනවා. කොවිඩ් 19 වසංගතය ගැන කියමින් රට ලොක්ඩවුන් කර තබා ගැනීම විසඳුමක් නොවෙයි.ඉන් වැටෙන්නේ අපේ රට හා ආර්ථිකය. ඒ නිසා අපි රජය වශයෙන් එම වසංගත තත්ත්වය පාලනය කරමින් සිදු කරන වැඩ පිළිවෙළට සියලු දෙනාගේම සහයෝගය හිමිවිය යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.


