"උඹ ෆොටෝ ගත්තේ ඇයි? අපි මාස්ක් දාන්නේ නෑ. අල්ලාගෙන හොඳට ම තඩිබායි.

Covid Marsk Moodara police Maadampitiya Aluthkade crot
By Aruna May 19, 2021 03:22 AM GMT
Aruna

Aruna

Report

තිබෙන අවදානම් තත්ත්වය පිළිබඳව සලකා බලා ‘මුව ආවරණ පලඳින ලෙසට’ කළ දැනුම් දීමකට උරණව කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ රියැදුරකුට අමානුෂික ලෙස පහරදුන් සැකකරුවන් පස්දෙනෙකු අද (මැයි 19) කොළඹ අලුත්කඩේ අංක 6 අධිකරණය වෙත ඉදිරිපත් කරන බව මෝදර පොලිසිය පවසයි.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මාදම්පිටිය විජය සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි සැකකාර තරුණයන් පිරිසක් එසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඉහත සඳහන් නිවාස සංකීර්ණයේ පදිංචි පැමිණිලිකාර රියැදුරා ඉකුත් 16දා පස්වරු 8.30ට පමණ සේවා කාලය අවසන් කර එහි ඉහළ මාලයක පදිංචිව සිටින සිය මවට ආහාර පාර්සලයක් දීමට යන අතරවාරේ එහි කොරිඩෝවක සිටි තරුණයන් පිරිසකට ‘මාස්ක් දමා ගන්නා’ ලෙසට කාරුණිකව දන්වා ඔවුන්ගේ ඡායාරූපයක් ද ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.

එසේ අවවාද කළ පැමිණිලිකාර රියැදුරා ඉහළ මාලයේ සිටි සිය මවට ආහාර පාර්සලය දී එම නිවෙසින් පිටතට ආ අවස්ථාවේ ඒ අසලට පැමිණ ඇති එකී තරුණයන් පිරිස හා ඔවුන්ගේ වැඩිහිටියන් කිහිපදෙනෙකු "උඹ ෆොටෝ ගත්තේ ඇයි? අපි මාස්ක් දාන්නේ නෑ.

උඹට පුළුවන් දෙයක් කරපන්" යනුවෙන් පවසා එම රියැදුරාට අමානුෂික අන්දමින් පහරදී ඇති බව ද තමා එම ඡායරූපය ගත්තේ විහිළුවට බව ද පැමිණිලිකරු පැවැසුවත් ඔවුන් ඒ බව නොඅසා පැමිණිලිකරුට පහරදී ඇති බව වාර්තා වෙයි.

පසුව පැමිණිලිකරු මේ පිළිබඳව මෝදර පොලිසියට එදිනම පැමිණිලි කර කොළඹ ජාතික රෝහලට ඇතුළත් වීමෙන් පසුව ඊයේ (මැයි 18දා) පෙරවරුව දක්වා ම එහි නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන තිබේ.

මේ පිළිබඳව මෝදර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ, සිද්ධිය පිළිබඳව සිදුකළ විමර්ශනයෙන් අනතුරුව පැමිණිලිකාර රියැදුරුට පහරදුන් තරුණයන් පස්දෙනෙකු හඳුනා ගත් බවත් ඔවුන් අද (මැයි 19දා) කොළඹ අලුත්කඩේ අංක 6 අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now