පොලීසියෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක්..අවධානයෙන් සිටින්න.

Sri Lanka Police announcement Nihal thalduuwa
By Aruna Aug 30, 2021 09:39 AM GMT
Aruna

Aruna

Report

ව්‍යාජ ලෙස සකස් කරගත් ලිපි භාවිත කරමින් නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් ඇතැම් පිරිස් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

ඔවුන්ගෙන් බොහෝ පිරිසක් එලෙස ව්‍යාජ ලිපි ලේඛන සකස් කරගෙන විවිධ වංචා සහ අපරාධ සිදුකරන බවද අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලසීමාව තුළ මාර්ගවල ගමන් කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමේදී මෙම කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙස සියලු පොලිස් නිලධාරීන් වෙත දැනුම්දී ඇති බවද ඒ මහතා පැවසීය.

ව්‍යාජ නිරෝධායන ඇඳිරිනීති බලපත්‍රයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකුව ඊයේ (29) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. කන්තලේ පොලිස් කොට්ඨාසයේ අග්බෝපුර පොලීසියේ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූලස්ථානයේ ලිපි ශීර්ෂයක් ලෙස හැඟවෙන පරිදි පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරනු ලැබූ බවට සඳහන් ව්‍යාජ බලපත්‍රය සකස් කර ඇති බවද පොලීසිය පැවසීය.

මේ අතර ව්‍යාජ ලෙස අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර සකස් කළ ස්ථානයක් පසුගිය අගෝස්තු 24 වනදා බොරැල්ල පොලීසිය විසින් වටලා තිබුණි. එහිදී සැකකරුවන් 4 අත්අඩංගුවට ගෙන ගෙන විමර්ශන ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරයෙකුගේ නිල මුද්‍රාව ව්‍යාජ ලෙස සකස් කරමින් මෙම ව්‍යාජ බලපත්‍ර සකස් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඒ ආකාරයෙන් සකස් කරන ලද ව්‍යාජ බලපත්‍ර විවිධ පුද්ගලයින්ට අලෙවි කර තිබූ බවය.

මේ අතර අගෝස්තු 28 වනදා කේරළ ගංජා කිලෝග්‍රෑම් 183ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමග පුද්ගලයෙකු මුරුන්කන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී සැකකරුගෙන් සිදුකර තිබූ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම පුද්ගලයා විසින් දිස්ත්‍රික් ලේකම්වරයෙකු වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර බෙහෙත් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන මුවාවෙන් මෙම ජාවාරම සිදුකිරීමට අවශ්‍ය පරිසරය සකසාගෙන ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha