අනාගත නායකයින් නීත්‍යානුකූලයි - අගමැතිගෙන් පොරොන්දුවක්

Report

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) 19 වැනි පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

මෙහිදී විදේශීය සිසුන් 26ක් ඇතුළු පුහුණුලාභීන් 149 දෙනෙකුට උපාධි පිරිනැමූ අතර, අධ්‍යාපනික විශිෂ්ටත්වය දැක්වූවන්ට Golden Owl Award, Golden Pen Award සහ Commandant’s Honours යන සම්මානද අග්‍රාමාත්‍යවරිය අතින් පිරිනමනු ලැබීය. මීට අමතරව Defence and Security Journal හි 10 වැනි සංස්කරණය සහ Owlet සඟරාවද නිල වශයෙන් ඇයට පිළිගන්වනු ලැබිණි.

උත්සවය ඇමතූ අග්‍රාමාත්‍යවරිය දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ දැඩි බලපෑම් සිහිපත් කරමින්, ගලවාගැනීම් හා සහන කටයුතු සඳහා කැපවූ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සහ ජීවිත අහිමි වූ සියලු දෙනාට ගෞරවය පළ කළාය. ජාතික අර්බුදවලදී ජනතාව සමඟ එක්ව නොසැලෙන කැපවීමෙන් කටයුතු කළ හමුදාවටද ඇය ප්‍රශංසා කළාය.

“අනාගතයට අවශ්‍ය වන්නේ සාරධර්ම පද්ධතිය රැකගෙන, වෙනස්වීම්වලට අනුකූල වෙමින්, ඉගෙනීම් හා අත්දැකීම් අනුව නිසි පරිදි ක්‍රියාත්මක විය හැකි නායකයෝය” යයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

නව තාක්ෂණය හමුදා මෙහෙයුම් වෙනස් කළත්, නිසි විනිශ්චය, විනය සහ වගකීම නායකත්වයේ මූලිකාංග ලෙස සදා පවතින බවත්, මෙහිදී ගොඩනැගුණු වෘත්තීය සම්බන්ධතා අනාගත සාමසාධක ක්‍රියාවලීන්, මානුෂීය මෙහෙයුම් හා කලාපීය අර්බුදවලට ප්‍රතිචාර දැක්වීමට වැදගත් වන බවත් ඇය සඳහන් කළාය.

විදේශීය පුහුණුලාභීන්ගේ සහභාගිත්වය ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරුව, අන්‍යෝන්‍ය අවබෝධය හා මිත්‍රත්වය තහවුරු කිරීමක් බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

උත්සවයට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් ඇතුළු ගෞරවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.