මෙවර උසස් පෙළ ලියන්න හිටපු සිසුවියගේ ගෙදර ඇස් පනාපිට හදිසියේ ගිනි ගනී - ගින්නට හේතුව මෙන්න
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට සූදානමින් සිටි සිසුවියක් ඇගේ ජංගම දුරකතනය චාර්ජ් කර ගැනීමට විදුලියට සම්බන්ධ කර තිබියදී ඊයේ (06) දින රාත්‍රී ඇතිවූ ගින්නකින් ඇගේ නිවෙස ගින්නට හසුව තිබෙන බව සිගිරිය පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව මෙම ගින්නෙන් සිසුවියගේ පොත්පත්, ඇඳුම් පැළඳුම් සියල්ල ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.
මෙසේ ගින්නට හසුව ඇත්තේ සීගිරිය ගලකොටුව ප්‍රදේශයේ පදිංචි චලනී කවිෂා සිතුමිණි දියණියගේ නිවෙස වන අතර ඇය දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස. උසස්පෙළ වානිජ අංශයෙන් උසස් පෙළ සඳහා අධ්‍යාපනය ලබමින් සිටින බවද පොලිසිය සඳහන් කළා.
නිවැසියන් සඳහන් කළේ ඊයේ (06) රාත්‍රී 10 ට පමණ එකවරම මෙම නිවෙසේ ගින්නක් හට ගත් බවයි. කෙසේ වෙතත් එහිදී ප්‍රදේශවාසීන්, පොලිසිය, දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ගින්න මැඩ පැවැත්වුවද මෙම දියණියගේ අධ්‍යාපන පොත්පත් ඇඳුම් පැළඳුම් සියල්ල අළු බවට පත්ව නිවසටද ගින්නෙන් විශාල හානි සිදුව තිබුණා.
එම ගින්න ඇතිවන අවස්ථාවේදී සිසුවිය සහ ඇගේ මව අසල නිවෙසකට ගොස් සිට ඇති අතර, නිවෙසේ විදුලිය නොමැති විටදී ජංගම දුරකතනය හා ලැප්ටොප් පරිගණකය විදුලි ආරෝපණයට විදුලියට සම්බන්ධ කර ඔවුන් දෙදෙනා නිවෙසින් පිටව ගොස් ඇති බව සඳහන්.
අනතුරුව පැය කිහිපයකින් ඔවුන් දෙදෙනා නිවෙසට එන විට එක්වරම මෙම ගින්න හටගෙන තමන්ගේ සියල්ල විනාශ වූ බව අඳාළ සිසුවිය පවසයි.
කෙසේ වෙතත් සීගිරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි. ඒ අනුව දැනට සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ජංගම දුරකථනයේ විදුලි ආරෝපණය කිරීම අවස්ථාවේදී විදුලි කාන්දුවක් ඇතිවී මෙම ගින්න හටගන්නට ඇති බවට සැක කෙරෙන බවයි.