මන්ත්‍රීවරයෙක් සංචරණ සීමා කාලයේ ගමන් යන්න අවසර පත් දීලා

covid19 isolated puttalam travel restricton ali sabri rahim
By Sewvandhi May 24, 2021 02:05 AM GMT
Report

සංචරණ සීමා පනවා ඇති කාලයේදී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා සිය අත්සන යොදා අවසර පත් නිකුත් කර ඇතැයි වාර්තාවේ.

අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන අවසර පත්‍රය නමින් මන්ත්‍රීවරයා නිකුත් කරන අවසර පත්‍රවල පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ජංගම දුරකතන අංකය සහ නමද සඳහන් කරන අතර ඒවා ලබාගත් පුද්ගලයන් ඉකුත් දිනවල දිස්ත්‍රික් සීමා පැන වව්නියාවට පවා ගොස් ඇතැයිද වාර්තාවේ.

සංචරණ සීමා පනවා ඇති කාලයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමේ අවසර පත් නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පමණක් හිමිවන අතර නීති රීති උල්ලංඝනය කරමින් අලිසබ්රි රහීම් මන්ත්‍රීවරයා අවසර පත් නිකුත් කිරීම පිළිබඳව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු දැඩි අප්‍රසාදය පළකරති. අලිසබ්රි රහීම් මන්ත්‍රීවරයා අවසර පත්‍ර නිකුත් කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හෝ ආරක්ෂක අංශ හෝ දැනුවත් කර නැතැයිද පැවසේ.

මේ පිළිබඳව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී පැවැසුවේ එය කිසිදු ලෙසකින් නීත්‍යානුකූල නොමැති බවත් එසේ ලබාදී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු කඩිනමින් කිරීමට සූදානම් බවත්ය.

ඒ පිළිබඳව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ජී.එස්. ජයමහ මහතාගෙන් කළ විමසීමේදී පැවසුවේ අදාළ මන්ත්‍රීවරයා මෙම සංචරණ කාලසීමාවලදී ගමන් කළ හැකි පුද්ගලයන් පිළිබඳව තමන්ගෙන් දුරකථනයෙන් විමසා සිටි බවත් එහිදී කුඹුරුවලට හා තෝරා ගත් අනිකුත් කටයුතුවලට නිසි අවසරයකින් පමණක් ගමන් කළ හැකි බව තමන් දැනුම් දුන් බවයි.

එසේ නොමැතිව තමන් කිසිදු ලෙසකින් මේ සඳහා අවසරයක් හෝ දැනුම් දීමක් නොකළ බවද ඔහු පැවැසීය. කෙසේ නමුත් මන්ත්‍රීවරයා කර ඇති මෙම කටයුත්ත දැනගත් විගසම එය වහාම නවතා දැමීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවැසීය.

මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීමට මන්ත්‍රීවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද දුරකථන ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

අලිසබ්රි රහීම් මහතා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට පත්විය. කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ඔහු ඉකුත්දා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now