PCR කට්ටල ගණන ප්‍රමාණවත් වෙන්නේ සති 6 කට පමණයි

covid 19 helth Covif Pcr
By Sithumi May 01, 2021 04:30 PM GMT
Sithumi

Sithumi

Report

වෛද්‍ය සැපයුම් අංශය සතුව ඇති පී.සී.ආර්. කට්ටල ගණන ප්‍රමාණවත් වන්නේ සති හයක කාලයකට පමණක් බව ඖෂධ නියාමන, සැපයීම් හා නිෂ්පාදනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් වයිරසය ලෝකය පුරා පැතිර යාම හේතුවෙන් පී.සී.ආර්. කට්ටලවල හිඟයක් නිර්මාණය වී ඇතත් මේ වන විට වෛද්‍ය සැපයුම් අංශය සතුව අවශ්‍ය තරම් පරීක්ෂණ කට්ටල ඇති බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. හදිසි තත්ත්වයක් ඇති වුවහොත් තවත් කට්ටල ලක්ෂ තුනක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ගෙන ඒමටද අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට පී.සී.ආර්. කට්ටල සපයන සැපයුම්කරුවන් තිදෙනෙකි. ඔවුන් සමග දෛනිකව කරුණු විමසන බවද රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. ගෙවුණු සතිය තුළ පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල විසිපන් දහසක් පමණ දෛනිකව වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහල්වලට මුදාහැර තිබේ. පී.සී.ආර්. පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලෝක බැංකුවේ කොවිඩ් පෙර සූදානම් හා ප්‍රතිචාර දැක්වීමේ ව්‍යාපෘතියට දැනුම් දී තිබේ. එම ඉල්ලීම යුනිසෙෆ් සංවිධානයට දැනුම් දුන් බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණඩාර පැවසුවේය. කෙසේ වෙතත් පවතින තත්ත්වයන් මත ගැටලු මතු වුවත් පී.සී.ආර්. පරීක්ෂණ අඛණ්ඩව සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර කියා සිටියේය