පාස්කු ඉරුදින මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර දෙකයි.

Police Sri lanka Pasku praharaya Katholic
By Aruna Apr 21, 2021 02:10 AM GMT
Aruna

Aruna

Report

2019 වසරේ අප්‍රේල් 21 වන දින උදෑසන ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් විසින් ක්‍රිස්තියානි දේවස්ථාන 03ක් සහ ප්‍රධාන පෙළේ හෝටල් 03ක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

එහිදි පුද්ගලයින් 300කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වු අතර තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්විය. ප්‍රහාරයෙන් මියගිය අය සිහිකර අද උදෑසන 8.45ට කිතුනු දේවස්ථානවල සීනූ නාද කෙරෙන අතර ඉන් පසු මිනිත්තු 2ක නිහඬතාවයක් පැවැත්විමට නියමිතය.

මේ අතර, පාස්කු ප්‍රහාරයේ ඉලක්ක බවට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි යන දේවස්ථානවලදීත් විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට නියමිතව තිබේ.

කතෝලික සභාව පවසන්නේ, ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ප්‍රකාශයක්ද මෙරට සිටින වතිකානු තානාපති රදගුරුතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මේ අතර මෙම සැමරුම් උත්සව පැවැත්වෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල ඊයේ පස්වරු 04.00 සිට අද මධ්‍යහ්න 12.00 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ.

පොලීසිය පවසන්නේ සෙසු දේවස්ථානවලටද විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවය. මේ අතර අද දිවයින පුරා පිහිටි සියලු කතෝලික පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර කර ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

අද දිනය තුළ කිතුනු දේවස්ථානවලට උපරිම ආරක්ෂාවක් සපයන ලෙස පොලිස් මුලස්ථානය විසින් සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.