ස්වසන අපහසුතා ඇති රෝගීන්ට ඔක්සිජන් චිකිත්සා ඒකකයක්

covid19 pavithra wanniarachchi oxygen therapy kamal gunarathna sudarshana pathirana
By Sithumi May 13, 2021 10:55 AM GMT
Sithumi

Sithumi

Report

ස්වසන අපහසුතා ඇති රෝගීන් සඳහා භාවිතා කිරීමට හැකි තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ( HEATED HUMIDIFIED OXYGEN THERAPY ) ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කර ඇති අතර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිල වශයෙන් භාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

කොවිඩ් 19 වසංගතයට මුහුණදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි මෙය නිෂ්පාදනය කර ඇත. මෙම උපකරණ කට්ටලය නිර්මාණය කිරීමේදී නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් හිමිව තිබේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා අණ දෙන නිලධාරී ගෘප් කපිතාන් ප්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය මෙහි නිෂ්පාදන කටයුතු සිදු කළේය.

ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට පූර්ණ ආර්ධතාව සහිත අධි ධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ. සීමාවන්, ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙය ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කර ඇති අතර, මෙහි විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව මොරටුව විශ්ව විද්‍යාලය විසින් සනාථ කර තිබේ.

උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්ෂ 03 ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කටයුතු නිම කිරීම විශේෂත්වයකි. දැනට මෙවැනි උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව මෙම නිෂ්පාදන කටයුතු සිදු කෙරේ. උපකරණයේ ක්‍රියාකාරිත්වය ජනාධිපතිතුමා වෙත හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරිණ.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now