රෝහල්වලට ඔක්සිජන් ටැංකි 21,000ක් ඉල්ලයි.. වහාම සිංගප්පූරුවෙන් ගෙන්වයි.. අවදානම තීව‍්‍රයි..

By Sithumi May 11, 2021 05:56 PM GMT
Sithumi

Sithumi

Report

පවතින තත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔක්සිජන් සිලින්ඩර 21,000 ක් අමතරව අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පුරෝකථනය කර ඇති අමතර ඔක්සිජන් සිලින්ඩර අවශ්‍යතාවය පහත සඳහන් පරිදි වේ.

I. ලීටර 4 කුඩා සිලින්ඩර 2,000

II. ලීටර 12 විශාල සිලින්ඩර 10,000

III. ලීටර 47 සිලින්ඩර 9,000

ඒ අනුව, අමතර සිලින්ඩර 21,000ක් කඩිනමින් ආනයනය කර සුරක්ෂිත තොග වශයෙන් පවත්වාගන්නා ලෙස ගෑස් ක්ෂේත්‍රය පිළිබඳව පළපුරුදු අත්දැකීම් හා ජාත්‍යන්තර සම්බන්ධතා ඇති රජයේ පරිපාලිත සමාගම වන ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත කාර්යසාධන බලකාය විසින් දැනුම් දී ඇත. මේ වන විටත්, ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සමාගම, සිංගප්පූරුවෙන් ඔක්සිජන් සිලින්ඩර ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති අතර, නොබෝ දිනකින් පළමු තොගය ලැබීමට නියමිත ය. මීට අමතරව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන ජනරජයෙන් කළ ඉල්ලීමකට අනුව ඔක්සිජන් සිලින්ඩර ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට සැපයීමට චීන රජයේ අවධානය යොමු වී ඇත.

‘හදිසි තත්ත්වයකදී කොවිඩ්- 19 රෝගීන්ට ලබාදීමට ඔක්සිජන් සිලින්ඩර සුරක්ෂිත තොගයක්, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කටයුතු හෙවත් “වෙදකම” සෞඛ්‍ය අංශ විසින් සිදු කරන අතර, ඇඳන් පහසුකම්, ඔක්සිජන් සම්පාදනය වැනි “හෙදකම” ජනාධිපති කාර්යසාධන බලකායට’ පසුගියදා අරලියගහ මන්දිරයේදී කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් රැසක් සමඟ පැවැති රැස්වීමේදී කාර්යසාධන බලකායේ සභාපති, බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. දැනට දිවයින තුළ ඔක්සිජන් නිෂ්පාදනය කරන සමාගම් වන සිලෝන් ඔක්සිජන් ලිමිටඩ් සමාගම (Ceylon Oxygen Limited) හා ගෑස් වර්ල්ඩ් ලංකා ලිමිටඩ් සමාගම (Gas world Lanka Limited) විසින් අවශ්‍ය තරම් ඔක්සිජන් නිෂ්පාදනය ක‍රයි.

දැනට සමහර රෝහල්වල මහා පරිමාණ ද්‍රව ඔක්සිජන් ටැංකි, ඔක්සිජන් සාන්ද්‍රණ බලාගාර, ඇඳන් ආසන්නයේ වූ කුඩා පරිමාණ ඔක්සිජන් සාන්ද්‍රණාගාර ඇත. එහෙත්, විවිධ ප්‍රමාණයෙන් වූ වායු ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව රෝගීන්ගේ අවශ්‍යතා සඳහා වැඩිකිරීම යෝග්‍ය බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.