මෙහෙයුම අසාර්ථකයි... තරුණියගේ හිස තවදුරටත් අතුරුදන්...

Police
By Thaya Mar 06, 2021 06:17 PM GMT
Report

වේල්ලවීදියේ තිබී හමු වු මිය ගිය තරුණියගේ හිස සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වෙමින් තිබේ.

ඒ අනුව මෝදර සිට හංවැල්ල නගරය දක්වා කැලණි ගඟ දෙපස ඉවුර පරික්ෂා කිරීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසිය සහ නාවික හමුදාව එක්ව දියත් කළත් ඉන් සාර්ථක ප්‍රතිඵලයක් ලැබී නොමැති බවට වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොලීසිය විසින් අනාවරණය කරගන්නා ලද තවත් සිසිටීවී දර්ශන කිහිපයක් ඔස්සේ කරන ලද පරික්ෂණවලින් තරුණියගේ ඝාතනයට සම්බන්ධ වූ පසුව සියදිවි හානි කරගත් සැකකාර උප පොලිස් පරික්ෂකවරයා විසින් තරුණියගේ සිරුර වේල්ලවීදියේ අත්හැර දමා නැවත බුත්තල බලා පිටත්ව යන අවස්ථාවේ පිටේ එල්ලාගෙන යනු ලබන ගමන් මල්ලක් පිළිබඳව අවධානය යොමු කෙරුණි.

මෙම ගමන් මල්ල පොලිස් පරික්ෂකවරයා විසින් නිවසේ ළිඳට දමන්නට ඇති බවට පොලීසිය සැක පළ කර තිබුණු අතර කැමරා මාර්ගයෙන් ඊයේ (05) දිනයේ පොලිස් පරික්ෂකවරයාගේ නිවසේ පිහිටි ළිඳ පරික්ෂා කර තිබුණි.

එහිදී කානු සෑදීමට ගන්නා කොන්ක්‍රීට් කුට්ටි කිහිපයක් සොයා ගෙන ඇති අතර ඒවා අලුත් තත්ත්වයේ තිබූ බවට කැමරා මාර්ගයෙන් කරන අධ්‍යයනයන්වලින් තහවුරු වී තිබුණි. ඉන් අනතුරුව පොලීසිය විසින් ළිඳ ඉසීමට කටයුතු කර තිබුණු නමුත් එම ළිඳ තුළ තිබී කිසිවක් හමු නොවුණි.

මෙම ක්‍රියාත්මක කරන ලද පරික්ෂණවලදී සැකකාර පොලිස් පරික්ෂකවරයාගේ යැයි හඳුනා ගත් පුළුස්සා දමන ලද කමිසයක් ද සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් සමත්ව තිබේ.

කොළඹ සිට උප පොලිස් පරික්ෂවරයා රැගෙන ආ සැක කටයුතු ගමන් මල්ලද සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව තිබුණත් ඉන්ද තරුණියගේ හිසට කුමක් සිදු කළාද යන්න පිළිබඳව සාක්ෂියක් හමු වී නොමැත.