Online හරහා ඔබ මිලදී ගන්නා ජංගම දුරකථන සොරකම් කරන ලද එකක්ද ? මෙන්න පහසුවෙන්ම දැන ගත හැකි ක්‍රමය

By Wasantha Apr 15, 2021 06:27 AM GMT
Report

අන්තර්ජාලය ඔස්සේ විකුණනු ලබන භාණ්ඩ මිලදී ගැනීමේදී ඒ සම්බන්ධයෙන් මහජනතාවට සුපරික්ෂාකාරී වන ලෙස පොලිස් මුලස්ථානය දැනුම් දී සිටිනවා. අන්තර්ජාලය ඔස්සේ පළකරනු ලබන මෙවැනි භාණ්ඩ බොහෝ විට සොරකම් කරන ලද සහ කොල්ලකන ලද ඒවා බවයි පොලිසිය සඳහන් කරන්නේ. සොරකම් කරන ලද වටිනා ජංගම දුරකථන, ස්වර්ණාභරණ, සුවඳවිලවුන්, විදුලි උපකරණ, පරිගණක වැනි භාණ්ඩ මෙලෙස විකිණීමට තබා තිබෙන බවත් අන්තර්ජාලය ඔස්සේ විකිණෙන භාණ්ඩ මිලදී ගැනීමේදී පුද්ගලයින්ගේ ජංගම දුරකථන අංක සහ ජාතික හැඳුනුම්පතේ ජායා පිටපතක් ලබා ගැනීමට කටයුතු කරන ලෙස පොලිසිය මහජනතාවට දැනුම් දී සිටියි. එමෙන්ම, මේ වන විට සොරකම් කරන ලද හෝ කොල්ලකන ලද සියළුම ජංගම දුරකථනයන්හි EMI අංක ශ්‍රී ලංකා පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබන www.ineed.police.lk වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බවද පොලිසිය සඳහන් කර සිටිනවා. ඒ අනුව ඕනෑම පුද්ගලයෙකුට පාවිච්චි කරන ලද හෝ අලුතින් මිලදී ගනු ලබන ජංගම දුරකථන මිලදී ගැනීමට පෙර ඉහත වෙබ් අඩවියට පිවිස තමා මිලදී ගැනීමට බලාපොරොත්තු වන ජංගම දුරකතනයේ EMI අංකයන් මෙම වෙබ් අඩවියේ එලකර ඇත්ද යන්න සොයා බලා තහවුරු කර මිලදී ගන්නා ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.