සබරගමුව පළාතේ සියළු වෙළඳසැල් රාත්‍රි 7.00ට වසා දමයි – ඔසුසැල් විවෘතයි

Sri lanka
By Sithumi May 11, 2021 02:57 PM GMT
Sithumi

Sithumi

Report

සබරගමු පළාතේ ෆාමසි හැර සියළුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පළාත් බලධාරීන් වෙත අද (11) දන්වනු ලැබීය.

ඒ මහතා මේ බව දැනුම් දුන්නේ එදින (11) ZOOM තාක්ෂණය ඔස්සේ සබරගමුව පළාතේ සෞඛ්‍ය අංශ, රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සමඟ පැවති රත්නපුර දිස්ත්‍රික් COVID 19 මර්ධන කමිටුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුවය.

මෙම කමිටුවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන් සහ සෞඛ්‍ය අංශ, රාජ්‍ය ආයතන හා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානීහු එක්විය. රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ වාහන බලපත්‍ර අවලංගු වීමේ කාල සීමාව ජුනි 30 දක්වා දීර්ඝ කිරීමට ද සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පියවර ගනු ලැබීය.

අත්‍යාවශ්‍ය මහජන සේවාවන් නොවන සබරගමු පළාතේ කාර්යාල වසා දැමීමට ද ඒ මහතා බලධාරීන් වෙත දැනුම් දෙනු ලැබීය. PCR පරික්ෂණ වැඩි වශයෙන් සිදු කෙරු ප්‍රදේශ වල එම PCR පරික්ෂණවල වාර්තා ලැබෙන තෙක් හෝ සංචරණ සීමා කිරීම සඳහා හුදකලා කරන ලෙස ද ඒ මහතා බලධාරීන් වෙත දන්වනු ලැබීය.

සති අන්තයේ (මැයි 14,15,16) අත්‍යාවශ්‍ය වෙළඳසැල් හැර අනෙකුත් සියලුම වෙළඳසැල් (රෙදි සාප්පු, කොමියුනිකේෂන්, සැලෝන්, ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි ස්ථාන වැනි) වසා දැමීමට මෙහිදී තීරණය කෙරුණි. කොරෝනා රෝගය බහුලව වාර්තා වන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී සඳහන් කළේය.

පුස්තකාල, කියවීම් ශාලා, ළමා උද්‍යාන ආදිය නැවත දැනුම් දෙනු තුරු වසා තැබීමට ද, අදාල ප්‍රාදේශීය කොරෝනා කමිටුවේ තීරණයන්ට අනුව සති පොළ විවෘතව තැබීම පිළිබඳ තීරණ ගැනීම හා එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා පමණක් සතිපොළ වෙළදාම සීමා කිරීමට ද මෙහිදී තීරණය විය

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....   
Join now