අන්තවාදීන්ගේ බොරු ප්‍රචාරවලට හසු නොවන්නැයි ඇමතිවරයකුගෙන් ඉල්ලීමක් ....
රට තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීම සදහා බොරු බේගල් මවාපාන අන්තවාදීන්ගේ බොරු ප්‍රචාරවලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, ඔවුන් එලෙස කටයුතු කරන්නේ සිය බඩගෝස්තරය වෙනුවෙන් බවත් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
රටේ සියලු පුරවැසියන්ට ජාති, ආගම්, කුලමල භේදයකින් තොරව සළකන නායකත්වයක් අද රට තුළ ඇති බව කී ඇමතිවරයා, මෙරට සියලු පුරවැසියනගේ සහ උපන් නූපන් සියලු දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කිරීම රජයේ වගකීම බවද ප්‍රකාශ කළේය.
පසුගිය සමයේදී දමිළ, මුස්ලිම්, කතෝලික ජනතාව පෙන්වා දේශපාලන අරමුණු ඉටු කරගත් බවත්, ඉන් කිසිදු ජාතියකට සෙතක් සිදු නොවුනු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ නව නිවාස 3ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාව අද (10) දින සහභාගි වෙමිනි.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරන, ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු යන මහත්වරුන්ද සහභාගි වූහ.
බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුලන නැගෙනහිර,කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කටුගොඩ සහ දඩල්ල බටහිර යන ප්‍රදේශවලදී මෙම විවෘත කිරීම් සිදු කෙරිණි.
ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව විෂයභාර අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
