මිත්‍රශීලී රටවල් අමනාප කර ගැනීමෙන් අපට ඉදිරි ගමනක් නැහැ...

Sri Lanka
By Thaya Feb 04, 2021 07:46 PM GMT
Thaya

Thaya

Report

ජපානය, ඉන්දියාව වැනි රටවල් සමග පවතින මිත්‍රශීලීත්වයට හානි කොටගෙන අපිට ඉදිරි ගමනක් නොමැති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසයි.

ලංකාව ආර්ථික වශයෙන් ඉදිරියට යාමට නම් රාජ්‍ය තාන්ත්‍රිකව පවතින සබදතා වඩාත් ශක්තිමත් කර ගත යුතු අතර ඔවුන් සමග ආයෝජන අවස්ථාවන් ඇති කර ගත යුතුයි. එසේ නොමැති වුවහොත් අපේ රට විශාල ආර්ථික අර්බුදයකට පත්වනු ඇත. ආයෝජන අහිමිවීම හේතුවෙන් අපේ රටට විදේශ විනිමය අහිමිවීම තුළ රුපියල බාල්දු වී, ඩොලරය ඉහළ යාමෙන් භාණ්ඩ හා සේවා මිල අධික ලෙස ඉහළ යනු ඇත. ඒ හේතුවෙන් මිලියන 22 ක් වූ ජනතාව දැඩි අපහසුතාවයට පත්වීම වැළැක්විය නොහැක. එමනිසා රටේ ආර්ථික ස්ථායිතාවයක් ඇති කර ගැනීම සදහා මිත්‍රශීලී රටවල් සමග ආයෝජන අවස්ථා ඇතිකර ගත යුතුයි.

කොවිඩ් 19 හේතුවෙන් දැනටමත් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම, රට විරුවන්ගෙන් ලැබෙන විදේශ ප්‍රේශන ආදිය සීමා වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ආයෝජන අවස්ථාද අහිමි කර ගන්නේනම් රට දැඩි ආර්ථික අර්බුදයකට පත්වනු ඇති බවත් එමනිසා රටට හිතතර ලෙස අයෝජන අවස්ථා පුළුල් කර ගත යුතුයි.

මීට පෙර මිත්‍රශීලී රටවල් සමග සිදු කරන ලද අයෝජනයන් අපේ රටට ඉතුරු වූ අතර, එලෙස දියුණු කරන ලද කිසිවක් ඔවුන් නැවත රැගෙන නොගිය අතර ඒ සෑම දෙයක්ම අපේ රටේ ජනතාවට හිමි වූ සංවර්ධන ප්‍රතිලාභයන්ය. විවිධ පාර්ශවයන් විසින් මේ රටට පැමිණීමට තිබෙන ආයෝජන අවස්ථාවන් අහිමි කිරීමෙන් මිලියන 22 ක් වූ ශ්‍රී ලංකික ජනතාවට සිදු කරනු ලබනුයේ බරපතල හානියක් බවත් ඒ සදහා ඔවුන් වගකිව යුතු බව අවධාරණය කරයි.

ඇතැම් පාර්ශවයන් ගමේ චන්ඩින් මෙන් හැසිරෙමින් හා පුරසාරම් දෙඩීමෙන් රාජ්‍ය තාන්ත්‍රික සබදතාවලට සිදු කරනු ලබන හානිය ඉතා බරපතලය. එසේ සිදු කිරීමෙන් රට විශාල අර්බුදයකට පත්වනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන නායකයින් දෙපළ මේ රටේ ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කළ නායකයින් වන අතර ඔවුන් ආයෝජන අවස්ථා තුළින් රටට කිසිදු හානිකර තීරණයක් නොගනු ඇත.

ලංකාවේ රාජ්‍ය ආයතන ගණනාවක් දැනටමත් පාඩු ලබන අතර එම රාජ්‍ය ආයතන නඩත්තු කරනුයේ මහජන බදු මුදලනි. එය රටට විශාල වැය බරකි. ඒවා ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යෙදවීමට තිබූ මුදල්ය. මෙවන් තත්ත්වයක් තුළ ආයෝජන අවස්ථා ද අහිමි කර නොගෙන මිත්‍රශීලී රටවල් සමග පවතින සබදතා පුළුල් කර ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.