නව කාර්යාල දුම්රියයක් .....
කැළණි වැලි දුම්රිය මාර්ගයේ හෝමාගම සිට කොළඹ කොටුව දක්වා නව කාර්යාල දුම්රියක් දැනට ධාවනය වන දුම්රියට අමතරව ධාවනයට එක් කෙරේ.. එසේ ධාවනයට එක්කෙරෙන කාර්යාල දුම්රිය හෝමාගම දුම්රිය ස්ථානයෙන් පෙරවරු 07.00 කොළඔ කොටුව දුම්රිය ස්ථානය බලා ගමන් අරඹයි .පස්වරු 06.10 කොටුව දුම්රිය ස්ථානයෙන් යළි හෝමාගම බලාද ධාවනයට එක්කෙරේ.
හෝමාගමින් ගමන් ආරම්භ කරන මෙම දුම්රිය මන්දගාමී දුම්රියක් ලෙස ධාවනය වන අතර එස්. 08 වර්ගයේ මැදිරි 05 කින් සමන්විත බලවේග දුම්රියකි. ධාවනයෙන් ඉවත්කල බලවේග කට්ටල මැදිරි දේශීය සමාගමක් විසින් නැවත ප්‍රතිසංස්කරණය කර මෙලෙස මෙම දුම්රිය ධාවනයට එක් කර ඇත. පෙ.ව.7.00 හෝමාගම දුම්රිය ස්ථානයෙන් මෙම නව දුම්රිය ධාවනය ආරම්භ කිරීමත් සමග පෙ.ව 6.10 ට කොස්ගමින් ගමන් ආරම්භ කරනු ලබන දුම්රිය පෙ.ව 6.20 ලෙසත් පෙරවරු 7.15 ට හෝමාගමින් ගමන් ආරම්භ කරන දුම්රිය පෙ.ව 7.42 ලෙසත් වේලාව සංශෝධනය වනු ඇත. මෙම මාර්ගයේ නුගේගොඩ සිට මහරගම දක්වා නවීන සංඥා පද්ධතියක් ස්ථාපිත කර ඇති අතර ඒ හේතුවෙන් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සංඥා අවහිරතා වලින් තොරව සෑම විනාඩි 04 කට වරක්ම දුම්රියක් ධාවනය කිරීමේ හැකියාව ලැබී ඇත.
මෙම ව්‍යාපෘතියේ මහරගම දුම්රිය ස්ථානයේ නවීන සංඥා පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා රු.මිලියන 15 ක මුදලක් සහ නුගේගොඩ සිට මහරගම දක්වා සංඥා පද්ධතිය අලුතින් සවිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 20 කපමණ මුදලක් වැයවී ඇත. මෙම දුම්රිය ධාවනය ආරම්භ කිරිමේ සාමාරම්භක අවස්ථාවට සහභාගී වු ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කර සිටියේ ධාවනයෙන් ඉවත් කර තිබු දුම්රිය මැදිරි දේශීය සමාගමක් විසින් නැවත ප්‍රතිසංස්කරණය කර ධාවනයට එක් කිරිමට හැකි වීම තුලින් පිටතට ඇදි යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බවයි. මේ වන විට මේ අයුරින් දුම්රිය මැදිරි 200ක් පමණ අලුත් වැඩියා කර ධාවනයට එක් කල බවයි. ජනාධිපතිතුමාගේ සෞභාගයේ දැක්ම අනුව විදේශ විනිමය ඉතිරි කරගෙන දේශීයව ප්‍රතිසංස්කරණය කර මෙම දුම්රිය මැදිරි ධාවනය සඳහා යොදා ගෙන ඇත. අබලන් දුම්රිය මැදිරි ඉදිරියටත් අප රට තුලම නවීකරණය කිරිමට අපේක්ෂා කරන අතරම,ඉදිරියටත් තවත් දුම්රිය මැදිරි 100ක් ඒ අයුරින් ප්‍රතිසංස්කරණය කිරිමට කටයුතු කරන බවද අමාත්‍යතුමා පැවසීය.
එමෙන්ම කැළණිවැලි දුම්රිය මාර්ගයේ දිනකට දුම්රිය මගීන් 15000 ක පමණ ප්‍රමාණයක් ගමන් ගන්නා බවත් ඉදිරියේදි මෙම පිරිස 30,000 දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවද ප්‍රකාශ කලේය. මේ තුලින් දුම්රිය මගීන්ට නියමිත වේලාවට දෛනික රාජකාරි කටයුතු සදහා කාර්යාල වෙත ගමන් කිරිමටත් කෙටි කාල සීමාවකින් හා අඩු වියදමකින් ගමනාන්තය වෙත ලඟාවීමට හැකි වන බව අමාත්‍යවරයා මෙහිදි වැඩි දුරටත් සඳහන් කලේය. අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ අද දින හෝමාගම සිට ආරම්භ කෙරුණු දුම්රියෙන් මාලපල්ල (මාකුඹුර) දක්වා පැමිණීමෙන් අනතුරුව එම ස්ථානයේ පැවති රැස්වීමක දී ය. මෙම අවස්ථාවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන බස්නාහිර හිටපු පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද සහභාගි වි සිටියේය.

