ඉන්දියාව කොවිඩ් හමුවේ අසරණ වෙද්දි නයගරා ඇල්ල ඉන්දීය පැහැය ගත් හැටි

india canada covid 19 waterfall nayagara
By Sewvandhi Apr 30, 2021 02:03 AM GMT
Report

මනා කැපවීමක් සහිත විද්වතුන් සහ වෘත්තීයවේදීන්ගේ සහයෝගයෙන් ඉන්දියාව කොරෝනා අර්බුදයට සාර්ථකව මුහුණදෙනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විශ්වාසය පළ කරනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත සහයෝගය පළ කිරීමේ ලිපියක් යොමුකරමින්.

මෙම දැවැන්ත අභියෝගයට මුහුණදීමේදී සමීප සහයෝගිතාවයෙන් කටයුතු කරන බව ද එහි දැක්වෙනවා. සැමට මෛත්‍රීය පතුරුවමින් අසල්වැසි රටවලට කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ ගණනක් ප්‍රධානය කළ ඉන්දියාව අද ඉතිහාසයේ තවත් දැවැන්ත අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා.

ආදාහන ස්ථාන වෙත රැගෙන එන දහස් ගණනක් ඉන්දියානුවන්ගේ දේහවලටත් අවසන් ගමන වෙනුවෙන් පෝලිම්වල රැදී සිටීමට සිදුවෙලා. ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවන් ජිවිත සුරක්ෂිතතාවය වෙනුවෙන් මිනිසුන්ගේ මෙන්ම, සොබා දහමේ ද කරුණාව යදිමින් සිටිනවා. ඒ අප වෙනුවෙන් දැනටත් අපිරිමිත කැප කිරිම් සිදුකරන සුවසැරිය ගිලන් රථ සේවය පවා හිමිකර දුන් ඉන්දියාවේ වත්මන් තත්ත්වයයි.

මේ වනවිට සමස්ත ලෝකයම ඉන්දියාව දෙස අවධානය යොමුකර තිබෙනවා. ඒ අනුව, භාරතයට සහය පළ කරන ඊයේ කැනඩාවේ නයගරා ඇල්ල ඉන්දීය ධජයේ පැහැයෙන් ආලෝකමත් කෙරුණා.

තැඹිලි, සුදු සහ කොළ පැහැයෙන් ආලෝකමත් වුණු නයගරා ඇල්ල සමස්ත ඉන්දියානුවන් වෙනුවෙන් කරුණාව විදහා ඇදහැලෙන්නට ඇති.

මේ වනවිට ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව එක්කෝටි අසූතුන් ලක්ෂ 76,524 ක් ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව දෙලක්ෂ 4832 ක්. ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම මේ වනවිට වෛරසයට ගොදුරු වී අවසන්.

නවදිල්ලි, මුම්බායි, ලක්නව් සහ පූනේ වැනි විශාල නගර වල රෝහල්, ආදාහනාගාර හා අවමංගල රථ පිරීගොස් තිබෙනවා. ගිලන් රථයක් ලබා ගැනීමට නොහැකි වීම නිසා රාජස්ථාන් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ පුද්ගලයෙකු කොරෝනා වෛරසයට ගොදුරු වූ තම පියා එක් රෝහලක සිට තවත් රෝහලකට රැගෙන යාමට ගත කළ කාලය පැය 8 ක්.

රෝහලට ගියත්, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ පියාගේ ජිවිතය අහිමිවී තිබුණා. මේ අතර, ඔක්සිජන් ඇතුළු අනෙකුත් වෛද්‍ය උපකරණ රැගත් ගුවන් යානා දෙකක් අද උදෑසන ඉන්දියාවට පැමිණ ඇති අතර, බ්‍රිතාන්‍යයේ සිට ද ඔක්සිජන් ටැංකි 120 ක් රැගත් නෞකාවක් ඉන්දියාවට ලගා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා වසංගතයෙන් ජනතාව දැඩි බලපෑමට ලක්ව සිටින පසුබිමක් තුල වුවද, ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ජන්දය ප්‍රකාශ කිරීමේ කටයුතුත් අද සිදුවී තිබෙනවා.

කොවිඩ් ව්‍යාප්තිය නොතකා බටහිර බෙංගාල ප්‍රාන්තයේ ජන්ද මධ්‍යස්ථානවලින් පිටත දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, බටහිර බෙංගාලය වෛරසයේ මීලඟ කේන්ද්‍රස්ථානය විය හැකි බවටයි සෞඛ්‍ය විශේෂඥයන් දැනටමත් අනතුරු අඟවා ඇත්තේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now