වහාම ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදාව විසින් ආරක්ෂාව තරකරයි.

India Sri lanka Sri lanka navy Wayaba sea North sea
By Aruna May 03, 2021 09:40 AM GMT
Aruna

Aruna

Report

 නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් රට තුළ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බැවින් එය මැඩ පැවැත්වීම උදෙසා නාවික හමුදාව පැය 24 පුරා ක්‍රියාත්මක වන පරිදි මුර සංචාර වැඩි කරමින් වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, වයඹදිග සහ උතුරු මුහුදේ ආරක්‍ෂාව තර කිරීම සඳහා වෙරළබඩ සහ ගැඹුරු මුහුදේ නාවික හමුදා යාත්‍රා සහ නෞකා මුර සංචාර වැඩි කිරීමට පියවර ගෙන ඇති අතර, මෙහිදී අන්තර්ජාතික මුහුදු සීමාව ආසන්නයේ නාවික හමුදා වේග මුර යාත්‍රා සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා මුර සංචාරයේ යෙදවීමටත්, ගොඩබිමට ආසන්න මුහුදේ ආරක්‍ෂාව තර කිරීමට වෙරළබඩ නිරීක්‍ෂණ මුර යාත්‍රා මුර සංචාරයේ යෙදවීමටත් කටයුතු කරන ලදී. තවද, මෙම විශේෂ මෙහෙයුම් සඳහා නැගෙනහිර නාවික විධානය මඟින් නෞකා සහ යාත්‍රා උතුරු නාවික විධානය වෙත අනුයුක්ත කර ඇති අතර, බටහිර නාවික විධානය මඟින් හලාවත සිට මන්නාරම දක්වා මුහුදු තීරයේ මුර සංචාර සඳහා යොදවනු ලබන නෞකා සහ මුර යාත්‍රා ප්‍රමාණයද මේ වන විට වැඩි කිරීමට කටයුතු කර තිබේ.

මීට අමතරව වෙරළ තීරයේ ආරක්‍ෂාව තර කිරීම සඳහා නාවික හමුදා පාමුර සංචාර මෙන්ම තෝරා ගත් ස්ථානයන්හි නාවික හමුදා වෙරළ නිරීක්‍ෂණ ස්ථාන ස්ථාපිත කිරීමටත් කටයුතු කර ඇත.

එමෙන්ම නීති විරෝධී සංක්‍රමණිකයින් පැමිණිම සම්බන්ධයෙන් කිසියම් සැක සහිත ක්‍රියාකාරකමක් නිරීක්‍ෂණය වුවහොත් වහාම අදාළ බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් විදේශීය පුද්ගලයින් සමඟ මුහුදේදී සම්බන්ධයන් පැවැත්වීමෙන් වළකින ලෙසත් ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමට ද නාවික හමුදාව පියවර ගෙන ඇත.

සියලු ධීවර ප්‍රජාවගෙන්මේ අවස්ථාවේ නාවික හමුදාව ඉල්ලා සිටිනුයේ විදේශීය ධීවර යාත්‍රා හෝ නෞකා සමඟ මුහුදේදී සබඳතා නොපවත්වන ලෙසත් එලෙස සබඳතා පවත්වන ජාවාරම් කරුවන් පිළිබඳ තොරතුරු දන්නේ නම් නාවික හමුදාව වෙත ලබා දෙන ලෙසත්ය.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාවට වයඹ දිග මුහුදේ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින් අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල් වූ ඉන්දීය ඩව් (Dhow) යාත්‍රාවන් 04ක්, නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ, එනසාල්, බීඩි කොළ සහ පාරිභෝගික භාණ්ඩ සමඟ ඉන්දීය ජාතිකයින් 21 ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ජාතිකයින් සහ ඉන්දීය ඩව් යාත්‍රා පවත්නා කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ අවධානම සැළකිල්ලට ගනිමින් ඉන්දීය මුහුදු කලාපයට පිටත්කර යැවීමට කටයුතු ‍කළ අතර, නාවික හමුදා මුර සංචාර වැඩි කිරීම මඟින් කෙටි කාලයක් තුළ විදේශීය ජාවාරම් කරුවන් සහ යාත්‍රා මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට හේතුවූ බව අවධාරණය කෙරේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

https://chat.whatsapp.com/H8zRFe7nQgnHU7t38H49Sa