නාගලගම්වීදිය ජල මාපකයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට
අධික වර්ෂාපතනය හේතුවෙන් කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම නිසා හංවැල්ල සහ ඒ ආශ්‍රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ හංවැල්ල මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 9.78ක් වාර්තා වන බවත් එය ආසන්න වශයෙන් මහ ගංවතුර තත්ත්වයක් බවයි.
කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර මහතා සදහන් කරයි.
තවද නාගලගම් වීදියේ මිනුම් පාඨාංකය අඩි 8.35ක් ලෙස දැක්වෙන අතර එය මෑත ඉතිහාසයේ වැඩිම ජල මට්ටම බව ද ජල කළමනාකරණ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව තවදුරටත් ජල මට්ටමේ වැඩිවීමක් සිදු නොවන බවත් පැවසූ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කැලණි පන්සල ආසන්නයේ පිහිටි ගංවතුර වේල්ල මේ වනවිට සැලසුම් කරන ලද ජල මට්ටමේ උපරිම මට්ටමට පැමිණ ඇති බවය.
තවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ඒ අවට ජන්තාවගෙන් ඉල්ලා සිටින්නේ ඉදිරියේ දී යම් අවදානමක් පැමිණියහොත් කඩිනමින් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බැවින් එම නිවේදන ගැන අවදානයෙන් සිටින ලෙසත් විමසිල්ලෙන් කටයුතු කරන ලෙසයි.