“මල්ලිට අඬගහලා උපදෙස් දෙන්න” – මුරුත්තෙට්ටුවේ හිමි අගමැතිගෙන් ඉල්ලයි

covid19 Mahindha rajapaksha මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ Gotabaya rajapaksha
By Sewvandhi May 14, 2021 03:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වර්තමානයේ මෙරට පාලනය සිදු කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද එසේත් නොමැති නම් ව්‍යාපාරිකයින් ද යන්න තමන්වහන්සේ හට නොතේරෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරනවා.

රටට ඇති ආදරය නිසා මෙම ආණ්ඩුව පත් කරගත් බවත් ව්‍යාපාරිකයන්ට අවශ්‍ය අයුරින් මේ රට පාලනය කරන්නට ඉඩ දිය නොහැකි බවටත් උන්වහන්සේ සඳහන් කළා.

“ජනාධිපතිවරයාට කවුරුන් උපදෙස් ලබා දෙනවා දැයි කියන්න අපි දන්නේ නැහැ. රට හදන්නට එතුමාට ඕනෑකම තිබෙනවා. නමුත් එතුමාට උපදෙස් ලබා දෙන කේවට්ටයෝ කවුරුන් දැයි දන්නේ නැහැ. නිවැරදි ලෙස උපදෙස් ලබා දෙනවා නම් එතුමාට මෙය ක්‍රියාත්මක කළ හැකියි. කේවට්ටයෝ පැත්තකට දමා අගමැතිතුමාවත් තමන්ගේ මල්ලීව ළඟට අඬ ගසා මෙන්න මේවා කර රට මුදා ගනිමු යැයි උපදෙස් ලබා දෙනවා නම් අපට මෙය ජයගත හැකියි. අද මේ රට කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ද ව්‍යාපාරිකයෝද යන්න ප්‍රශ්නයක් තිබෙනවා.”

එමෙන්ම පැලැස්තර දමා වසංගත තත්ත්වය විසඳීමට නොහැකි බව පවසන උන්වහන්සේ රටේ තිබෙන දෙයක් විකුණා දමා හෝ ජනතාවට එන්නත් ලබා දී කොවිඩ් වසංගතයෙන් රට බේරාගන්නා ලෙසට රාජ්‍ය නායකයන්ගෙන්, බලවතුන්ගෙන් හා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.

පිණ්ඩපාතයේ ගොස් හෝ ජනතාවට එන්නත ලබා දීමට අවශ්‍ය මුදල් සොයා දෙන්නට තමන් වහන්සේ සූදානම් බවයි උන්වහන්සේ පවසන්නේ.

මෙම ව්‍යසනය ඉක්මනින් තුරන් කිරීමට නම් සති දෙකක් තුනක්වත් රට වසා දැමිය යුතු බව අවධාරණය කරන උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, එන පොට හොඳ නැති බවට වෛද්‍යවරු අනතුරු අඟවද්දීත් රට සම්පූර්ණයෙන්ම වසාදමන්නැයි ජනතාව ඉල්ලා සිටිද්දීත් වගකිවයුත්තන් තවමත් එළැඹගත් මතයේ සිට ක්‍රියාත්මක වනවා මිස වසංගත රෝගය ඉක්මනින් තුරන් කර ශ්‍රී ලංකාවාසී ජනතාවට සුවසෙතක් සලසන බවක් මේ යන ඉඹි ගමන තුළින් නොපෙනෙන බවයි.

ජනතාවගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්නැයි ජනාධිපතිරයාගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොවුණහොත් රට විශාලා මහනුවරක් බවට පත්වනු ඇති බවත් ආනන්ද හිමියන් පවසනවා.

“දැන් ඇමැතිවරු වැඩි වී තිබෙනවා. මේ කාර්යයට ඇමැතිවරු තුන් දෙනෙක් ඉන්නවා. තුන්දෙනා කරන දේ තුන්දෙනා දන්නේ නැහැ. මාධ්‍යවේදීන්ටත් කොරෝනා එන්නත ඉක්මනින් ලබා දිය යුතුයි. මාධ්‍යවේදීන් ආරක්ෂා කර ගැනීමටත් තවම වැඩපිළිවෙළක් නැහැ. ඔවුන් රට පුරාම යනවා.”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පෙන්වා දුන්නේ එන්නතක් හෝ නිසි පරිදි ලබා දීමට නොහැකි සෞඛ්‍ය ක්ෂේත්‍රයක් මේවන විට නිර්මාණය වී ඇති බව යි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now