ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කර තිබෙනවා -ජනපති

gotabaya rajapaksha mahinda rajapaksha labor rights
By Sewvandhi May 01, 2021 01:57 AM GMT
Report

රජය පොරොන්දු වු පරිදි ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පවසන්නේ අපේ උරුමයන්ට සහ දේශියත්වයට කිසිදු හානියක් නොවන පරිදි ක්‍රියාමාර්ග ගෙන ඇති බවය.

කෘෂි ආර්ථිකය ඉහළ නැංවිමට ද අවශ්‍ය ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව පෙන්වා දෙන ජනාධිපතිවරයා බොහෝ කම්කරු ප්‍රජාවන් දැඩි පීඩාවට පත්කරන දුප්පත්කම අප සමාජයෙන් තුරන් කරලීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් සකස් කොට ක්‍රමවත්ව ක්‍රියාත්මක කරමින් පවතින බව සඳහන් කළේය.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියාසිටියේය. එමෙන්ම වර්මතානයේ පවතින කොවිඩ් -19 වසංගතයෙන් ලොව වඩාත් අභියෝගයකට ලක්වන කණ්ඩායම කම්කරු ප්‍රජාව බව ජනාධිපතිවරයා පවසයි.

රටේ වැඩකරන ජනතාවට මුහුණදීමට සිදුවන ඒ යථාර්ථය ආණ්ඩුව නිවැරදිව අවබෝධ කරගෙන සිටින බැවින් එම ජනතාවගේ ජන ජීවිතය අඩාල වන සීමා පැනවීම් නොකොට ඔවුන්ගේ ජිවිත යථාවත්ව ගෙනයාමට රජය නිරතුරුවම කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය තහවුරු කර තිබෙනවා -ජනපති | May Day Messages

මේ අතර පොදුවේ තම රටට පමණක් නොව සමස්ත ලෝකයේම අභිවෘධිය උදෙසා කම්කරු ජනතාව කරනු ලබන කැපවීම සෑම කල්හිම ඉතා ප්‍රශංසනීය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය. කෙසේවෙතත් ලොව පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මෙවර ද පෙළපාලි හා රැස්විම්වලින් තොරව කම්කරු දිනය සැමරීමට සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

කොතරම් දුෂ්කර තත්ත්වයක් හමුවේ වුවද රජය කම්කරු ජනතාව වෙනුවෙන් දිය යුතු නිසි ගෞරව ලබාදුන් බව පවසන අග්‍රාමාත්‍යවරයා, කම්කරු අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් ඇප කැප වන බව සඳහන් කළේය.

ජනහිතකාමී වැඩබිමක් සුරක්ෂිත දේශයක් යන මැයෙන් සමරනු ලබන කම්කරු දිනය දේශීය ආර්ථිකය නඟාසිටුවීමට කම්කරු ජනතාව එකාමෙන් අත්වැල් බැඳගනු ඇතැයි තමා විශ්වාස බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now