ග්‍රාමීය ආර්ථිකය නැංවීමට වැඩසටහන් රැසක් ...

Economy
By Thaya Mar 28, 2021 05:43 PM GMT
Thaya

Thaya

Report

ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නැංවීමට මෙම වසරේ ප්‍රමුඛතාවය ලබා දී වැඩසටහන් රාශීයක් රජය මගින් ක්‍රියාත්මක කර ඇති බව , ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි. රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කටාන ආසනයේ මාර්ග වැඩසටහන් ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (27) සහභාගීවු අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වු ලන්සා මහතා ,ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගේ "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කටාන ආසනයේ ආඬිඅම්බලම කිඹුලාපිටිය මාර්ගය, මුරුතාන බම්ඹුකුලිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. කිලෝ මීටර් 5.4 ක දුර ප්‍රමාණයක් සංවර්ධනය සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන 142 කි. මෙහි කොන්ත්‍රාත් අධීක්ෂණය පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කෙරේ.

කොච්චිකඩේ ප්‍රදේශයේ පවතින රථවාහන තද බදය මග හැර යාම සඳහා විකල්ප මාර්ගයක කොටසක් ලෙස ආඬිඅම්බලම හා කිඹුලාපිටිය මාර්ගය භාවිතා කළ හැක. දීර්ඝ කාලයක් මෙම මාර්ගය අබලන්ව පැවති අතර මෙම මාර්ගය සංවර්ධනය කිරීම තුළින් විශාල පිරිසකගේ ගමනා ගමන කටයුතු පහසු කරනු ඇත. "ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී විශේෂයෙන් කාන්තාව සවිබල ගැන්වීම අපේ අරමුණයි. මේ හරහා රටේ ආර්ථිකයට ක්‍රියාකාරී දායකත්වයක් ඔවුනගෙන් ලබා ගැනීම සඳහා ගම් මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඇමරිකාව, එංගලන්තය, ඉතාලිය, ප්‍රංශය ඇතුලු බොහෝ රටවල් කොරෝනා වසංගතයට මුහුණදීමට නොහැකිව ඇතැම් ප්‍රදේශ අදටත් වසා දමා තිබෙනවා. නමුත් අපේ රට කොරෝනා වසංගතය පාලනය කර ගනිමින් හා එන්නත් කරණය සාර්ථකව සිදු කිරීම නිසා රට විවෘත කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට මුල් තැන දෙමින් මේ වන විට තමන්ගේ ව්‍යාපාර කටයුතු, රැකියා කටයුතු ඇතුලු දෛනික කටයුතු සිදු කරමින් පවතිනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ පාසල් සියල්ල විවෘත කරන්න දැන් අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඉදිරි මාස තුන හතර ඇතුලත අවශ්‍ය සියලු දෙනාට එන්නත ලබා දීම රජයේ අරමුණයි."

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවුහ.