“මිහිමවට කන් දෙමු” ව්‍යාපෘතියෙන් පාරිසරික වැඩ සටහන රැසක් ....
අප රටේ කළුගල්, වැලි, මැටි, පස් හා බොරළු වැනි භූ සම්පත් සංරක්ෂණය හා ඒවා තිරසර ලෙස රජයේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමේ අරමුණින් “මිහිමවට කන් දෙමු” පාරිසරික වැඩ සටහන මෙම මස 25 දින සිට ආරම්භ කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද දින (18) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
රජය සංවර්ධනය සඳහා විශේෂ වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අතර 01 ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ප්‍රතිසංවර්ධනය 02 රුවන්පුර අධීවේගී මාර්ගය 03 මාර්ගවල ඉස්සරකිරීමේ මංතීරු ස්ථාපනය කිරිම 04 කොළඹ ආශ්‍රිතව නව නාගරික දුම්රිය පද්ධතිය 05 දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීම 06 පානදුර- කොළඹ- වේයන්ගොඩ- රාගම කටුනායක- මීගමුව- මරදාන - හෝමාගම විදුලි දුම්රිය පද්ධතියක් හඳුන්වා දීම 07 දුම්රිය ඉඩම් ආශ්‍රිතව වානිජ මධ්‍යස්ථාන ඉදි කිරීම 08 කොළඹ- මහනුවර අධීවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය කොළඹ වරාය දක්වා දීර්ඝ කිරීම, බත්තරමුල්ල හරහා අතුරුගිරිය සිට පෑලියගොඩ දක්වා කුළුනු මතින් දිවෙන මාර්ගය 09 වර්ෂා ජලය ගබඩා කර තබා ගැනීම සඳහා නව වැව් පද්ධතියක් ගොඩ නැගීම10 ජලය හිග ප්‍ර දේශවලට ජලය ගෙනයාමට නව ඇළ මාර්ග සකස් කිරීම 11 ප්‍රජා ජල ව්‍යාපෘති 12 ග්‍රාමිය පාසැල් සංවර්ධනය 13 විශ්ව විද්‍යාල සිසුන් සඳහා නව නේවාසිකාගාර පද්ධති ඉදි කිරීම ප්‍රධාන වේ.
මෙම සංවර්ධන ව්‍යාපෘතිවලට මෙන්ම පුද්ගලික අංශය විසින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති සඳහා ද භූ සම්පත් විශාල වශයෙන් අවශ්‍ය වන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධව පත් කරන ලද ජනාධීපති කාර්ය සාධන බලකායේ වාර්තාව අනුව 2021-2025 දක්වා භූ සම්පත් අවශ්‍යතාව ගණන් බලා ඇති බව සඳහන් කළේය. ඒ අනුව දැනට පවතින ඉල්ලුම අනුව 2021- 2025 කාලය තුළ කළුගල් ඝන මීටර් මිලියන 215ක්, ද, වැලි ඝන මීටර් මිලියන 55ක්, පස් හා බොරළු ඝන මීටර් මිලියන 370ක් හා මැටි ඝන මීටර් මිලියන 44ක් ද අවශ්‍ය වේ. එමෙන්ම 2021 -25 දක්වා ක්‍රියාත්මක කිරීමට යෝජිත සංවර්ධන කටයුතු සඳහා ද අවශ්‍ය භූ සම්පත් ප්‍රමාණය කළුගල් - ඝන මීටර් මිලියන 495ක්,වැලි- ඝන මීටර් මිලියන 125ක් පස් හා බොරළු- ඝන මීටර් මිලියන 685කි.
නමුත් සැපයුම අනුව ගත් කළ එම කාලයට අපිට සැපයිය හැකි භූ සම්පත් ප්‍රමාණය වන්නේ කළුගල් - ඝන මීටර් මිලියන 2268ක්, වැලි- ඝන මීටර් මිලියන 41, පස් හා බොරළු - ඝන මීටර් මිලියන 347ක් වැනි ප්‍රමාණයකි. දිවයිනේ ස්ථාන 4758ක විහිදී ඇති මෙම භු සම්පත් සහිත ස්ථාන හඳුනා ගෙන තිබෙනවා. ප්‍රධාන ඉදිකිරීම් වල දී මැටි අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා නොකළත් රාජ්‍ය අංශයේ මැටි අවශ්‍යතාවය පිළීබඳ ගණනය කර තිබෙන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. 2021 මැටි අවශ්‍යතාවය ඝන මීටර් මිලියන 08ක් පමණ වන අතර 2025 වනවිට එම ප්‍රමාණය ඝන මීටර් මිලියන 10ක් දක්වා ඉහළ යා හැකියි. භූ සම්පත්වලින් වැඩිම අවශ්‍යතාවය පවතින්නේ මහාමාර්ග අමාත්‍යාංශයටයි.
අධිවේගී මාර්ග ඉදි කිරීම මෙන්ම ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් 100,000ක් ප්‍රතිසංවර්ධනය කිරීම ආරම්භ කර තිබේ. මේ නිසා 2021-25 කාලය තුළ කළුගල් අවශ්‍යතාවය සියයට 44කිනුත්, වැලි අවශ්‍යතාවය සියයට 20 කිනුත්, පස් හා බොරළු අවශ්‍යතාවය සියයට 36කිනුත් ඉහළ යා හැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. දැනට පවතින භූ සම්පත් ප්‍රමාණය අනුව සැපයිය හැකි වන්නේ අවශ්‍යතාවයෙන් සියයට 50ක් පමණි. එම නිසා විකල්ප හඳුන්වා දීමට සැලසුම් කර ඇති බවත්, භූ සම්පත් තිරසර ලෙස යොදා ගැනීමට මිහිකතට කන් දෙමු වැඩ සටහන ආරම්භ කරන ලද බවත් අමාත්‍යවරයා කීය. මේ යටතේ හම්බන්තොට, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක ඉළක්ක කර ගනිමින් වැඩ සටහන් පවත්වන බව අමාත්‍යවරයා කීය.මෙම අවස්ථාවට භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොළ මහතා ද සහභාගි විය.