නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න - මේ ජලාශ අවට සහ පහත්බිම්වල වෙසෙන ජනතාවට දැනුම්දීමක්
පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන් දමමින් පවතින බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා ප්‍රකාශ කළේ වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගන, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර වැව, මහනුවර දිස්ත්‍රික්කයේ වෑ මැඩිල්ල ජලාශය, දේවහූව, නාලන්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල, යෝධ ඇල, වෙහෙරෙගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටාආර යන ජලාශ ඇති බවයි.
එමෙන්ම රාජාංගන ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300කට අධික ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් ඇති බව සඳහන් කළ ඔහු සොරබොර ජලාශයේ වාන් දොරටු 5ක් අඩි 2 බැගින් නිකුත් කර තත්ත්පරයකට ඝන අඩි 500කට අධික ජල ප්‍රමාණයක් මහවැලි ගඟ වෙත නිකුත් කරමින් පවතින බවද පවසයි.
එසේම මහනුවර නාලන්දා ජලාශයෙන්ද මේ වන විට තත්ත්පරයකට ඝන අඩි 1,000කට අධික ජල ප්‍රමාණයක්ද දේවහූව ජලාශයේ තත්පරයකට ඝන අඩි 1,300කට අධික ජල ප්‍රමාණයක් මේ වන විට නිකුත් කරමින් පවතින බවත් ඔහු සඳහන් කරයි.
මේ අතර ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොරටු 6ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 4,000කට අධික ජල ප්‍රමාණයක් මේ වන විට කිරිඳිඔය වෙත නිකුත් කරමින් පවතින බවත්, වෙහෙරගල ජලාශයේද වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 1,900කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත නිකුත් කරමින් පවතින බවත්, දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 2,800කට අධික ප්‍රමාණයක් දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතින බවත් පවසමින් ඔහු කියා සිටියේ අලිකොටාආර ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 500කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔය වෙත නිකුත් කරමින් පවතින බවයි.
එමෙන්ම වාන් දමන මධ්‍ය පරිමාණ ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරුඇල්ල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙබරවැව, මොනරාගල දිස්ත්‍රික්කයේ සද්ධාතිස්ස සහ මාලින්පොත, වව්නියාව දිස්ත්‍රික්කයේ මයිලන්කුලම ජලාශ ඇතුළත් බව ඔහු පවසයි.
කෙසේ වෙතත් වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව මෙම වාන් දමන ප්‍රමාණයන් වෙනස් විය හැකි බැවින් එම ජලාශ අවට සහ පහත්බිම්වල වෙසෙන ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ ආයතන මඟින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසයි.