බුකීයේ රස මවමින් හුවමාරු වූ , මහරගම බැංකු කොල්ලයේ ඇත්තම කතාව මෙන්න

police atm maharagama banka robbery twenty thousand
By Sewvandhi Apr 30, 2021 12:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 මහරගම නගරයේ රාජ්‍ය බැංකුවක ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක් අසල සිදුවූවා යැයි කියන මුදල් කොල්ලකෑමේ උත්සහයක් පිළිබඳව තොරතුරක් අන්තර්ජාලයේ සැරිසරන්නේ ඊට අදාළ ඡායාරූප කිහිපයක් ද සමඟින්.

එහි සඳහන් වන ආකාරයට වයස අවුරුදු 20 ක පමණ තරුණයෙක් ස්වයංක්‍රීය මුදල් ලබාගත් කාන්තාවකගේ මුදල් පැහැරගෙන යාමට ගත් උත්සහයක් එතැන සිවිල් ඇඳුමින් සිටි පානදුර පොලිසියට අනුයුක්ත නිලධාරියෙකු විසින් ව්‍යර්ථ කරනවා.

පසුව මුදල් පැහැරගැනීමට උත්සහ කළ තරුණයා සමඟ එහි ත්‍රිරෝද රථයේ සිටි අනෙකුත් දෙදෙනාත් මහරගම පොලිසියට භාරදුන් බවයි අන්තර්ජාලයේ රසමවමින් සංසරණය වන මේ කතා පුවතේ දැක්වෙන්නේ. නමුත් හිරු ප්‍රවෘත්ති මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී හෙළිවූයේ වෙනස්ම පුවතක්.

මහරගම පොලිස් ස්ථානාධිපතිවරයාට අනුව සිදුව ඇති සිද්ධිය මෙසේයි.

අදාළ රාජ්‍ය බැංකුවෙන් මුදල් ලබාගැනීමට පැමිණි කාන්තාවක් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයෙන් රුපියල් විසිදහසක මුදලක් ලබාගැනීමට උත්සහ දරා තිබෙනවා. නමුත් ඒ මොහොතේ අදාළ යන්ත්‍රයේ මතුවූ යම් කාර්මික දෝෂයක් හේතුවෙන් එම මුදල යන්ත්‍රයෙන් නිකුත් වී නැහැ.

ඇය මේ සම්බන්ධයෙන් බැංකුවේ කළමනාකාරීත්වය දැනුවත් කිරීමට බැංකු පරිශ්‍රය තුළට ගිය අවස්ථාවේදී සැකයට භාජනය වූ තරුණයා ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය භාවිතයට පැමිණ තිබෙනවා. එවිට පෙර කී කාන්තාව ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයෙන් ඉල්ලුම් කළ මුදල වන රුපියල් විසිදහස නිකුත්ව තිබෙනවා.

එම මුදල ගත් තරුණයා ATM යන්ත්‍රය අසලින් එළියට පැමිණෙන විටම ATM යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට පෝලිමේ සිටි පානදුර පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරියා ඔහුගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර ඇති බවයි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේ.

ඒ සමඟම එතැන යම් කළබලකාරී තත්වයක් මතුව ඇති බවත් එවිට ඒ අවට සේවයේ යෙදී සිටි මහරගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයට පැමිණ ඇති බවත් පසුව ඔවුන් දෙදෙනා විසින් අදාළ තරුණයා සහ ඔහු සමඟ ත්‍රිරෝද රථයේ පැමිණි අනෙකුත් දෙදෙනාත් මහරගම පොලිසියට රැගෙන ආ බවයි මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් පසුව එම ස්ථානයට පැමිණි මුදල් ඉල්ලුම් කළ කාන්තාව සිද්ධිය පැහැදිළි කරදීමෙන් පසුව සැකයට භාජනය වූ තරුණයා සහ ඔහු සමඟ පැමිණි අනෙක් දෙදෙනා නිදහස් කර තිබෙනවා.

මෙය හදිසියේ මතුවූ අනවබෝදයක් මත ඇතිවූ සිද්ධියක් බවයි මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා හිරු පුවත් වෙත සඳහන් කර සිටියේ.