මහපොළ ලොතරැයිය යළි ඇරඹීමට සැරසෙයි.

Sri Lanka Cabinet Government Of Sri Lanka Lottery
By Gagana Apr 10, 2024 05:45 AM GMT
Gagana

Gagana

Report

මහපොළ මාර්ගගත ලොතරැයිය නැවත ආරම්භ කිරීම සඳහා ආයෝජකයකු තෝරා ගැනීමට අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටුවක් සහ තාක්ෂණික ඇගයුම් කමිටුවක් පත්කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට ලිඛිතව යෝජනා කර තිබෙනවා.

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල ශක්තිමත් කර ගැනීමේ අරමුණින් 1981 වර්ෂයේදී මහපොළ මාර්ගගත ලොතරැයිය ආරම්භ කර ඇති අතර , මෙලෙස එය අතරමග නවතා දැමීමට හේතු වී ඇත්තේ,මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් මණ්ඩලය යටතේ පවතින මෙම මාර්ගගත ලොතරැයිය පරිපාලනමය ගැටලු හා මූල්‍යම වංචා හේතුවෙනි.

මහපොළ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලත් සිසුන් අතරින් මහපොළ ශිෂ්‍යත්වය හිමිවන ප්‍රතිශතය 61% ක් පමණ වෙයි. වාර්ෂිකව මේ සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ දායකත්වය දළ වශයෙන් රුපියල් බිලියන 1.7 පමණ වේ.

ඒ සඳහා රජයෙන් රුපියල් බිලියන 1.4% පමණ ප්‍රමාණයක් වැය කෙරේ.

එමෙන්ම, මහපොළ මාර්ගගත ලොතරැයියක් අතරමැදියකු හරහා අලෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා ඇති රුපියල් මිලියන 673ක මුදල මහපොළ භාරකාර අරමුදල වෙත ලැබී නොමැති බව ‘කෝප්’ කමිටුවේදී ද අනාවරණය වී ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කරණු දැක්වූ නිලධාරීන් මෙම ආයතන තවදුරත් පාඩු ලබමින් පවත්වාගෙන යාම අනවශ්‍ය බැවින් ඈවර කිරීම සඳහා කැබිනට් මණ්ඩලයෙන් අනුමැතියක් ලැබී තිබෙන බව සඳහන් කළා.

මේ අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලට වැය බරක් නොවී නැවත මෙම මාර්ගගත ලොතරැයිය ආරම්භ කර, එම අරමුදල ශක්තිමත් කිරීමට වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය මෙලෙස සූදානම් වෙයි.