LOLC ෆිනෑන්ස් වෙතින් රුමේෂ්ගේ ඔලිම්පික් සිහිනය සැබෑ කරගන්න දැවැන්ත ශක්තියක්

Report

 ශ්‍රී ලංකාවේ විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය වන LOLC ෆිනෑන්ස්, 2026 -2028 කාලය සඳහා ජාතික හෙල්ල විසිකිරීමේ ශූරයා වන ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේට අනුග්‍රාහකත්වය දැක්වීමේ සහයෝගීතාවකට එළඹ ඇත.

2028 ලොස් ඇන්ජලිස් ගිම්හාන ඔලිම්පික් උළෙල ඇතුළු ඉදිරි ජාත්‍යන්තර තරඟ සඳහා ඔහුගේ සූදානමට සහාය වේ.

මෙම සහයෝගීතාව යටතේ LOLC ෆිනෑන්ස්, රුමේෂ් තරංගට ඔහුගේ පුහුණු සැසි, තරඟ සහ අදාල කැපවීම් සඳහා සහභාගී වීමට මෙන්ම ඔහුගේ ගමන් පහසුවට සහායක් ලෙස ඉන්ධන සමඟ මෝටර් රථයක් ලබාදෙනු ඇත.

මෙම ප්‍රයත්නය ශ්‍රී ලාංකික ක්‍රීඩා කුසලතාවන්ට සහාය වීම සහ මෙරට ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගෝලීය වේදිකාවේ සාර්ථකව දස්කම් දැක්වීමට හැකියාව ලබාදීම සඳහා වන LOLC ෆිනෑන්ස් සමාගමේ පුළුල් කැපවීමේ තවත් එක් පියවරක් ලෙසින් හැදින්විය හැකිය. 2003 වසරේ මාර්තු 21 වැනිදා කළුතර දී උපත ලැබූ රුමේෂ් තරංග, කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ අතර, කවපෙත්ත විසි කිරීමේ සහ වෙඩි තැබීමේ ප්‍රවීණ ක්‍රීඩකයකු වූ ඔහුගේ පියාගේ මග පෙන්වීම යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට යොමු ව තිබේ.

2017 වසරේ මුලින්ම හෙල්ල විසිකිරීමේ ඉසව්වට පිවිසිදා පටන් ඔහු ශ්‍රී ලංකාවේ වඩාත් බලාපොරොත්තු තැබිය හැකි ජවන හා පිටිය ක්‍රීඩකයෙකු ලෙස ඉදිරියට පැමිණ ඇත රුමේෂ් තරංග මුල් වරට ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වූයේ 2022 වසරේ කොළොම්බියාවේ, කැලී හි පවත්වන ලද වයස අවුරුදු 20 න් පහළ ලෝක ශූරතා තරඟා වලියේදී හත්වැනි ස්ථානය ලබා ගැනීමත් සමගිනි.

ඉන් පසුව ඔහු ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ක්‍රීඩා ආයතනයේදී එහි පුහුණුකරුවන් වන මයික් සහ කෙල්සි බාබර් යටතේ පුහුණුව ආරම්භ කිරීමත් සමඟ ඔහුගේ තාක්ෂණික සහ තරගකාරීත්ව සංවර්ධනය වඩාත් ශක්තිමත් විය. 2025 වසරේ ටෝකියෝහි පැවති ලෝක මළල ක්‍රීඩා ශූරතාවලියේදී රුමේෂ් හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝකශූරතා අවසන් තරඟ සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයා ලෙසින් මෙරට ක්‍රීඩා ඉතිහාසයට එක්විය.

එමෙන්ම ඔහු එම ක්‍රීඩා උළෙලේදී මීටර 84.38 දුර හෙල්ල විසි කිරීමෙන් හත්වැනි ස්ථානයට පත් වූ අතර, එය ලෝක ශූරතා තරඟාවලියකදී ශ්‍රී ලාංකික පිරිමි ක්‍රීඩකයෙකු විසින් දැක්වූ හොඳම ක්‍රීඩා කෞශල්‍ය ලෙසින් වාර්තා සටහන් අතරට එක් විය. රුමේෂ් තරංග එම වසරේදීම ඉන්දීය විවෘත මළල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 86.50 ක දුරක් හෙල්ල විසි කොට නව ජාතික වාර්තාවක් පිහිටුවනු ලැබුවේ සුමේධ රණසිංහ විසින් තබා තිබු වාර්කාවද අභිබවා යමිනි. දැනට හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ලෝකයේ නව වැනි ස්ථානයේ පසුවන රුමේෂ් තරංග 2026 තරඟවාරය ආරම්භ කළේ, පර්ත් ට්‍රැක් ක ක්ලැසික් තරඟාවලියේදී මීටර් 83.07 ක ලොව ප්‍රමුඛ දස්කමක් සමඟිනි.

ඉන් පසු හොබාට් ට්‍රැක්  ක්ලැසික් තරගාවලියේදී රන් පදක්කම ජයග්‍රහණය කළ ඔහු සිය ගෝලීය ස්ථානය තවදුරටත් තහවුරු කරගනු ලැබීය.

රුමේෂ් තරංගට ලබා දුන් මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දැක් වූ LOLC ෆිනෑන්ස් පීඑල්සී විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් තිලකරත්න මහතා සඳහන් කළේ,

ජාතික ක්‍රීඩා කුසලතාවන්ට සහාය වීම, ජාතික සංවර්ධනය හා ප්‍රජා සවි බලගැන්වීම සඳහා සමාගමේ කැපවීමේ වැදගත් අංගයක් බවයි.

ඔලිම්පික් ක්‍රීඩා උළෙල දක්වා, රුමේෂ් තරංගට ඔහුගේ පුහුණු කටයුතු සහ ජාත්‍යන්තර තරඟකාරිත්වය පවත්වා ගැනීමට අවශ්‍ය ස්ථාවරය සහ සහයෝගය ලබාදීම මෙම අනුග්‍රාහකත්වයේ අරමුණ බව ඔහු සඳහන් කළේය.

LOLC මඟින් ලබාදෙන මෙම අනුග්‍රාහකත්වය පිළිබඳ ප්‍රසාදය පළ කරමින් අදහස් දැක්වූ රුමේෂ් තරංග, සිය ක්‍රීඩා ජීවිතයේ තීරණාත්මක අවධියකදී, එවැනි හවුල්කාරීත්වයකට එළැඹීමට හැකිවීම ගැන සතුට පළ කළේය.

එවැනි සහායක් තුළින් තමාට පුහුණුව, ස්ථාවර දක්ෂතා සහ ඉහළම ජාත්‍යන්තර තලයන්හිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කුසලතා දැක්වීම සඳහා පූර්ණ අවධානය යොමුකිරීමට හැකිවන බවත් ඔහු සඳහන් කළේය.

ප්‍රධාන පෙළේ ගෝලීය තරගාවලි සඳහා සුදානම් වන අතරතුර, ඉදිරි වසර තුනේදී මීටර් 85 න් ඔබ්බට සිය හෙල්ල විසිකිරීම් කුසලතා ස්ථාවරව වැඩිදියුණු කර ගැනීමට තරංග අපේක්ෂා කරයි. ඒ අනුව 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරගනිමින් ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර ශූරතා වලදී පදක්කම් ජයග්‍රහණය කරන මට්ටමේ දස්කම් දැක්වීම කෙරෙහි ඔහු පුර්ණ අවධානය යොමු කරයි.