පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රසිද්ධ නොකළ වෙළුම් 04 ක් ඉල්ලා කතානායකට ලිපියක්

Speaker
By Thaya Mar 01, 2021 06:06 PM GMT
Report

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කළ ජනාධිපති කොමිෂන් සභාව විසින් විමර්ශනයට සහ පරීක්ෂණයට ලක් කළ සාක්ෂි හා අදාළ ලියකියවිලි ඇතුළත් දෙවන වෙළුමේ සිට පස්වන වෙළුම දක්වා වූ වාර්තාවන් ද පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙත ලබාදෙන ලෙස විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින්. පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශන සිදු කළ කොමිසමේ සියළු වාර්තා ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදයට පෙර ලබාදෙන ලෙස විපක්ෂය විසින් මීට ඉහතදී ඉල්ලා සිටිය ද මේ දක්වා මන්ත‍්‍රීවරුන්ට ලබාදී ඇත්තේ අදාළ වාර්තාවේ පළමු වන වෙළුමේ ඇතුළත් වාර්තාව පමණක් බවයි එම ලිපියේ දක්වා ඇත්තේ. එබැවින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට සාර්ථක විවාදයක් පැවැත්වීමට නොහැකි බව ද විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා පෙන්වා දී තිබෙනවා.


එබැවින් කොමිෂන් සභා වාර්තාවේ සියළු වෙළුම් මන්ත‍්‍රීවරුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සිය ලිපිය මගින් කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ.