ජනමාධ්‍යවේදීන්ටත් කොවිඩ් එන්නත

Covid Vaccine
By Thaya Feb 10, 2021 06:29 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් වසංගත ව්‍යාප්තිය වැළැක්වීම සඳහා කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා එම ඉල්ලීම සිදුකර ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. කොරෝනා වසංගතය මෙරටින් හඳුනාගත් මොහොතේ සිට එහි තොරතුරු ජනතාවට ලබාදෙමින් විශාල කාර්යභාරයක නියැලෙන ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටුකරන ජාතික කාර්යභාරය අඛණ්ඩව සිදුකරගෙන යාම සඳහා එම එන්නත ජනමාධ්‍යවේදීන්ට ලබාදීම සුදුසු බව අමාත්‍යවරයා පවසා ඇත.

මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛනවලට අනුව මාධ්‍යවේදීන් 6,000 ක් පමණ සිය වෘත්තිමය කටයුතු සිදුකරනු ලබයි. ඉන් 1,150 දෙනෙකු පමණ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන බව වාර්තා වේ. පසුගිය දින කිහිපය තුළ මාධ්‍යවේදින් සහ මාධ්‍ය සංවිධාන විසින් එම එන්නත මාධ්‍යවේදීන්ට ලබාදෙන ලෙසට ඉල්ලීමක් සිදුකළ බව අමාත්‍යවරයා පවසා තිබේ. ඒ අනුව කඩිනමින් මාධ්‍යවේදීන් සඳහා ද කොවිෂීල්ඩ් එන්නත ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇති බවට අමාත්‍යවරයා සඳහන් කළ බව ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.